details

Email:madhawavish@gmail.com Phone:0714760652 Best Regards... to follow this blog by sms for free, type follow madhawablg and send to 40404

Sunday, October 5, 2014

පෙන්ටගන් යනු එදා රාවණ රජතුමා ඇමරිකානු මහද්වීපය පාලනය කළ බලකො‍ටුවකි

වර්ජීනියා හි පිහිටා ඇති "පෙන්ගටන්" යනු ඇමරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක අමාත්‍යාංශයේ මූලස්ථානයයි. ලෝකයේ ඉමහත් ආන්දෝලනයට ලක් වූද, ලෝකයේ අධි ආරක්ෂිත ගොඩනැගිල්ල වූද මෙම පෙන්ටගන් ගැන මා මේ කීමට යන දෙය ඔබ බොහෝ විට විශ්වාස නොකරාවි. නමුත් "සත්‍යය", අපගේ පරිකල්පනයේ සීමා මායිම් වලින් ඔබ්බේ සිට ඔච්චම් කරමින් අප දෙස බලා සිටී.
ඒ 1998 හි මුල් භාගයයි. හිටි ගමන්ම පෙන්ටගනයේ පොළොව යටම තට්‍ටුවේ බිමෙන් රුධිරය මතු වෙන බව එහි ගබඩා භාර නිලධාරියෙක් වූ කෝප්‍රල් ජේම්ස් කොට්ලර්ට දකින්නට ලැබුණා. වහාම ක්‍රියාත්මක වූ කෝප්‍රල් ජේම්ස්, තම ගබඩා භාර නිලධාරියා වූ ලෙෆ්ටිනන්ට් ටොම් හුක්ට ඒ ගැන දැන්වීමෙන් අනතුරුව එය එකල එක්සත් ජනපදයේ ආරක්ෂක ලේකම් (Secretary of Defense) වූ විලියම් සෙබස්තියන් කොහෙන් ට වාර්තා කෙරුණා. අදාල සිද්ධිය රහසක් ලෙස පවත්වාගන්නා ලෙස එම නිලධාරීන්ට තරයේ අවවාද කළ ඔහු පෙන්ටගනය ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩපිළිවෙළක් (Pentagon Renovation Program) ආරම්භ කළ අතර තම ධූර කාලය තුළදී එය අවසාන කිරීමට තීරණය කළා.

අමුත්තෙක්
========

මීට අවුරුදු 14 කට පමණ පෙර ශ්‍රී ලංකාවේ පිටිසර බද පළාතක සිටි මේසන් බාස් උන්නැහේ කෙනෙක් ඇමරිකා එක්සත් ජනපදයට පිටත් වූයේ එහි සිටි තම ඥාතීන්ව මුණ ගැසීමටයි. දැන් අඩ සිය වසක් පමණ ආයු වළඳා සිටින ඔහු, නමින් "සිරිසේන බාස් උන්නැහේ". එහි ගොස් මාස කීපයකින් සිරිසේන බාස් උන්නැහේ චතුරව ඉංග්‍රීසි කතා කරන්නට පටන් ගත්තා. ටික කලෙකින් තම ඥාතීන්ගේ සම්බන්ධතාවයන් හරහා ඔහුව පෙන්ටගනයේ සහකාර ප්‍රතිසංස්කරණ නිලධාරියෙක් වූ මිල්ටන් ගායි ට හඳුන්වා දෙනු ලැබුණා.

එක්සත් ජනපදයේ අධි ආරක්ෂිත කලාපයන්හි ප්‍රතිසංස්කරණය සඳහා යොදා ගන්නා බාහිර සේවකයින් ඉතාමත් විශ්වාසවන්ත අය විය යුතු අතර ප්‍රතිසංස්කරණ කටයුතු වලින් පසුව පෙන්ටගනයට සම්බන්ධ සේවකයින්ගේ මතකය සම්පූර්ණයෙන්ම මකා දැමෙනවා.

උපතින්ම අහිංසකයෙක් වූ සිරිසේන බාස් උන්නැහේගේ මොළයේ ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කළ CIA ඒජන්තයින් ඔහුව සැක හැර එයට බඳවා ගැනීමට රෙකමදාරු කරන ලද්දේ, අවසානයේදී ප්‍රතිසංස්කරණ කටයුතු වලට අදාල මතකය සම්පූර්ණයෙන්ම මකා දැමීමේ එකඟතා පත්‍රයකටද අත්සන් ගනිමින්. මසකට $12500 පමණ වැ‍ටුපක් ලැබෙද්දී අවුරුදු කීපයකට පෙර මතකය කැප කිරීමට අපගේ හෙළයින් බිය වෙයිද?

1998 නත්තල් සමය ළං වෙද්දී පෙන්ටගන් ප්‍රතිසංකරණ වැඩසටහනේ නිලධාරීන්ගේ උනන්දුව ටික ටික හීන වෙමින් තිබුණ අතර ඔවුන් නත්තල වෙත වැඩි අවධානයක් යොමු කරමින් තිබුණා. එහෙයින් එහි වාර්තා කර තිබුණේ ඉතාමත් සුළු සේවක සංඛ්‍යාවක්. අපගේ ප්‍රධාන කතා නායකයා කරළියට පැමිණෙන්නේ මේ අවස්ථාවේදීයි. මෙතැන් සිට සිරිසේන බාස් උන්නැහේගේම වචන වලින් ඔහුගේ විස්තරය ඔබ වෙත තියන්නම්.

භයානක සිදුවීම
===========

"මම ජර්මන් ටෙක් එකෙන් පෙදරේරු වැඩ ගන ඩිප්ලෝමා පාථමාලාවක් හදාරලා තිබුන නිසා, මිල්ටන් මහත්තයා මාව පෙන්ටගනයේ බිම් මහලේ ප්‍රතිසංස්කරණ කටයුතු වලට අනුයුක්ත කළා. නත්තල් වෙද්දී සේවකයින් අඩු හින්ද එතන අන්තිමට වැඩවලට ඉතිරි වුණේ ආගමේ නොවෙන අපි කීප දෙනෙක් විතරයි."

"දවසක් මිල්ටන් මහත්තයයි, තවත් කළු කණ්නාඩි දාගත්ත ෆුල් සුට් ඇඳපු හැඩිඩැදි කළු ජාතික මහත්තුරු කීප දෙනෙකුයි එකෙතු වෙලා, මාවයි තවත් දෙන්නෙකුයි පෙන්ටගන් එකේ යටම තට්‍ටුවට ලිෆ්ට් එකෙන් අරගෙන ගියා. අපිව ගෙනිච්චේ යටම තට්‍ටුවේ තියෙන ප්‍රතිසංස්කරන කටයුතු වලට කියල. වැඩේ කරන්න තියෙන කාමරයට ළං වෙනකොට කට්ටියගේ කතාවෙන් මට තේරුණා බොහොම අන්තරාදායක දේකට අප මූණ දෙමින් පවතිනව කියල. අදාල කාමරේ දොර ගාවට ගියාම මට පොඩි මුත්‍රා බරක් හැදුණ නිසා මං කක්කුස්සියට ගියා. ගොහින් එද්දී එකපාරටම මර ල‍තෝනියක් ඇහුණ... අර මාත් එක්ක ඉඳලා කාමරේට ගිය අනිත් සේවකයො දෙන්න තමන්ගෙ අත් වලින් ඇස් දෙක අල්ලගෙන කෑ ගහගෙන දුවගෙන එනව. ළං වෙලා බැලින්නම් එයාලගෙ ඇස් වලින් මෙන්න මේ වගේ ලේ බේරිමින් තිබුණ.

ඒත් මිල්ටන් මහත්තයයි අනිත් මහත්තුරුයි ආරක්ශිත කළු කණ්නාඩි දාගෙන හැම විටම ඉන්න හින්දා එයාලගෙ ඇස් වලට මුකුත් වෙලා නෑ. තුවාලකාරයො දෙන්නව වහාම ප්‍රතිකාර දෙන්න ඉහල මාලයකට යවලා, මට ආරක්ෂිත කළු කණ්නාඩි පළන්දවල වැඩේට යැව්ව. දැන් ආයිත් බෑ කියන්නැත් බැරි නිසා ඕනැ දෙයක් වෙච්චාවෙ කියල ගියා. කාමරය පුරාම ලේ පැල්ලම්. කාවවත් මරල දාල හින්ද නෙමෙයි, ඒ ලේ සිමෙන්තිය යටින් උනනව කියල මට තේරුණා. මම ටිකක් ළං වෙලා බලද්දී පොළොව යටින් මී මැසි වදයකින් එන සද්දය වගේ ගුම් ගුම් ගාන සද්දයක් ඇහුණා.


කැණීම
=====

මං අදාල කාමරය සම්පූර්ණයෙන්ම පරීක්ෂා කරල ඉවර වෙලා ඒ ගැන මිල්ටන් සර්ට කිව්වට පස්සේ තවත් CIA නිලධාරීන් කීප දෙනෙක්ව කැඳවලා ඔවුන් ලව්වා පොළොව විදින ඩ්‍රිල් එකක් සහ තවත් උපාංග ගොඩක් ගෙනල්ල දැම්ම. මට බොඩි ආමර් එකක් සහ හෙල්මට් එකකුත් පැළැන්දුව. ඊට පස්සෙ ඒ නිලධාරීන් තම අධි තාක්ෂණික රයිෆල් කාමරයට දිහාට එල්ල කරගෙන ලෑස්ති පිට හිටිය. මට මේක හීනයක් වගැ, මොනව වෙනවද කියල හිතාගන්න බැරිව හීනෙන් වගේ ඩ්‍රිල් එකත් අරගෙන පොළොව විදින පටන් ගත්ත.

පොළොව කඩාගන කඩාගෙන යනකොට මට තේරුනා ඩ්‍රිල් එක මොකක් හරි හයිය දේක වදිනව කියල. "බිග් ස්කෝප්" එකෙන් (ඒ රට උදලු නෑ) සිමෙන්ති ටික අයින් කරගෙන කරගෙන ගියාම මතු වුනේ මුනින් අතට නවාපු ඔරුවක් වගේ දෙයක්, ඒක පිත්තල පාටයි. ඒකෙන් තමයි අර රතු පාට ලේ වගේ දියරය ගලල තියෙන්නෙ. මට හිතුණ මේක ඒලියන් ශිප් එකක් කියල. කොහොමින් කොහොම හරි සිමෙන්ති ඔක්කොම අයින් කළාම මං හිතපු දේ සැබෑවක් වුණා. බැලින්නම් ඒක ක්‍රියාකාරී මට්ටමේ තියෙන එකක්.

CIA ඒජන්ට්ලාගේ රයිෆල්වල ලොක් අරින සද්දය එක පාට්ටක ඇහුණ. මුන් මාව දැන් මරනවත් හදනවද...නෑ ඔවුන් අවි අමෝරාගෙන ඉන්නේ අර යානය දිහාවට. එක්කෙනෙක් කිව්ව Open Up කියල. මම ඒ විධානයෙන් අර යාත්‍රාවෙ පියන අලවංගුවක් දාල ඇදල ඇරිය. ඒක ඇතුළෙ යකෙක්!!!


යකෙක්!!!
========

ඔව් ඇත්ටම ඒ යානයේ නියමු කුටියේ ඉන්නෙ යකෙක්.!!! දෙයි හාමුදුරුවනේ..., මගේ ලේ වතුර වෙලා කකුල් දෙක සට සට ගාල ගැහෙන්න ගත්ත. හැබැයි ඒ යකා වටේට වීදුරු ආවරණයක් තියෙනව. ඒක හරියට වීදුරු බිත්තරයක් වගැ. මං ළං වෙලා බලද්දී පෙනුන ඒ යකෙක් නෙමෙයි යක් වෙස් මූණක් දාගත්ත මනුස්සයෙක් කියල. ඒ යක් වෙස් මූණ හරියටම මේ වගේ.

යානයට තවත් එබිකම් කරල බලද්දී මට පෙනුන ඒක ඇතුළෙ නියමු කුටියට ඉස්සරහින් ස්වස්තික ලකුණක් තියෙනව කියල, ඒත් එක්කම වෘත්තාකාර තලයක් තියෙනව ඒක පුරාම රවුම් රවුම් තියෙනව. යානය ඇතුළෙ බිම රසදිය ගලල ගිහිල්ල.

ටික වෙලාවකින් මුළු ඇඟම සුදු පාට ඇඳුමකින් වහගත්ත නිලධාරීන් ඇවිල්ල යානය පරීක්ෂා කරන්න ගත්ත. ඊට පස්සෙ ශරීරයේ බෝම්බ බැඳගෙනද කියල චෙක් කරන වාගේ උපකරණයක් මගේ ඇඟ පුරාම ගෙනිච්ච, ඒ මගේ ඇඟේ විකිරණ තියෙනවද කියල බලන්නලු. ඊට පස්සෙ මිල්ටන් මහත්තයා මාව කැඳවගෙන පෙන්ටගන් එකේ උඩ තට්‍ටුවට ගෙනිච්ච.


රතු පලස
=======

මම ලිෆ්ට් එකෙන් පෙන්ටගන් එකේ ප්‍රධාන කාමරයට පිවිසෙද්දී පෙන්ටගන් නිලධාරීන් ලොකු පිරිසක් වටේ බලාගෙන ඉන්නව. මට අඩියක් විතර ඉස්සරහින් තියෙනව රතු පාට කාපට් එකක් දාල, අර ලංකාවෙ එයාපෝට් එකේ VIP එකේ තියෙනව වගේ. මම ඒක පාගන්නෙ නැතිව කාමරෙන් එලියට යන්න හදද්දිම ලස්සන සුදු නෝන කෙනෙක් ඇවිල්ල , එවෙල වැඩේ මහන්සියටම දාඩින පෙරාගෙන ඉන්න මගේ කරට මල් මාලයක් දැම්ම. ඊට පස්සෙ ඇය This way Sir කියල මාව අර රතු පලස ගාවට ගෙනිහිල්ලා ඒක උඩින් ඉස්සරහට යන්න කිව්ව. මටත් දැන් හොල්මං වගේ, පෙන්ටගන් එකේ කට්ටිය හෝ ගාල අප්පුඩි ගහනව, මාත් ඔහේ ඒක උඩින් ඉදිරියටම ගියා. ඒත් එක්කම තේරුනා මෙයාල මට මෙච්චර ගරු සරු දක්වන්නේ අර යානය ගොඩ ගත්ත එකට වෙන්න ඇති කියල. රතු පලසේ අන්තිම හරියෙදි කළු කෝට් එකක් ඇඳගත්ත උස මහත්තයෙක් ඉන්නව. පහුවෙනිදයි මං දැනගත්ත ඒ වෙන කවුරුත් නොවෙයි ඇමරිකාවේ ආරක්ෂක ලේකම් විලියම් කොහෙන් කියල.


සැලියුට් ගසයි
==========

එතුම ගාවට ගිහින් මම නැවතුනා. මං දිහා බලාගෙන ඉන්න එතුමාගේ ඇස් දිළිසෙනව වගේ පෙණුන. එක පාට්ටම එතුමා තම සුරත හිස ගාවට ගෙනිහිල්ල සැලියුට් එකක් ගැහුව. ඒත් එක්කම වට හිටපු බොහෝ පෙන්ටගන් නිලධාරීන්ද මට සැලියුට් ගහනව දැක්ක. හෙළයෙන් ඉදිරියේ ඇමරිකානු ආරක්ෂක ලේකම් වරයා සැලියුට් ගහපු ඒ සිද්ධිය හෙළ ඉතිහාසයේ අමරණීය අවස්ථාවක් වේවි. 

කොහෙන් මහත්තයා මාව එයාගේ පුද්ගලික කාමරයට කැඳවගෙන ගිහින් ගොඩක් දේවල් මාත් එක්ක කතා කළා. එහිදී මං දැනගත්ත දේවල් කෙටියෙන් කිව්වොත් මෙහෙමයි. ...

පෙන්ටගනයේ යටම මහලේ බිමින් ලේ ගලාපු අවස්ථාවෙදී ඒ ගැන පරීක්ෂණ පවත්වන්න FBI එකේ විශේෂ පරීක්ෂණ කණ්ඩායමක් වන X Files යොදවල තියෙනව. (X Files ගැන චිත්‍රපට පවා ගියත් එවැන්නක් ඇත්තටම තියෙනව). ඔවුන් ස්කෑන් කළාම ඒලියන් ශිප් එකක් බිම තියෙනව කියල හඳුනගෙන. අධෝරක්ත කිරණ තව දුරටත් එල්ල කරද්දී පෙනිල තියෙන්නේ ඒ යානය ඇතුළේ බියකරු සතෙක් ඉන්නව කියලයි. නමුත් ඒ යානය එලියට ගන්න කිසිම කෙනෙක් කැමති වෙලා නෑ. බොරුවට චිත්‍රපට වල ඇමරිකන් කාරයො පිටසක්වලයොත් එක්කත් යුද්ද කළත් ඇත්තටම උන් මාර බිය ගුල්ලො, දැක්කෙ නැද්ද 9/11 ප්‍රහාරය වෙලාවේ උන් හිස් ලූ ලූ අත දුවපු හැටි. තාක්ෂණයෙන් දියුණු වුණත් ඇමරිකන් කාරයින්ගේ මොරාල් එකනම් අන්තිමයි.

යානය තවදුරටත් ස්කෑන් කරද්දී ඔවුන්ට වැටහිල තියෙනව ඒක හෙළයින්ගේ ඉපැරණි රාවනා සමයට අයත් එකක් කියල. ඒ කියන්නෙ විමානයක්. ඉතින් මාත් හෙළයින්ගෙන් පැවත එන්නෙක් නිසා හෙළයින්ගේ ජාන මටත් තියෙන හින්දා මා ලව්වම ඒක විවෘත කරවන්න ඔවුන් තීරණය කරල. නමුත් මා ඊට අකමැති වේවි කියලයි කලින් කියල නැත්තෙ.

පරීක්ෂණ වලින් තේරුනාලු ඒක හදල තියෙන්නේ සමාන ජාන සැකැස්මක් තියෙන හෙළයින්ට විතරක් ප්‍රතිචාර දක්වන්නත්, වෙනත් අයෙක් එය විවෘත කළොත් විශාල පිපිරීමක ඇති වෙන්නත් කියල. ඒ කියන්නේ මං හැර වෙන සුද්දෙක් ඒක අරින්න හැදුවනම් පෙන්ටගන් එක පුපුරනව.

කොහොමින් කොහොම හරි ඔවුන් මට විශාල ගෞරවයක් දැක්වුව. ඒ යානය වැඩිදුර පරීක්ෂණ සඳහා ඒරියා 51 වලට ගෙනිච්චලු. ඒකෙ හිටපු නියමුවා ශිෂිරතාරක නින්දකට පත් වෙලා හිටපු නිසා, පණ පිටින් ඉඳල තියෙන්නෙ.


ඩොලර් 100000
============

දිනක් හදිසියේම මාව හමුවීමට ආපු මිල්ටන් මහත්තයා කිව්ව ඔයා පහුගිය දිනවල මූණ දුන්න සිද්ධි නිසා ඔයාව ව්‍යාපෘතියෙන් මුදා හරින්න සිද්ධ වෙනව, ඔයාගේ කැප වීම වෙනුවෙන් ඔයාගේ මහජන බැංකුවේ NRFC ගිණුමට දැනටම ඩොලර් 100000 බැර කරලයි තියෙන්නෙ කියල. ඒත් එක්කම තවත් ලියකියවිලි වගයකට මගේ අත්සන අරගත්ත. ඊට පස්සෙ තවත් CIA මහත්තයෙක් ඇවිත් මගේ ඉස්සරහට පෑනක් දික් කළා. ඒකෙන් ලා නිල් පාට ආළෝකයක් විහිදිලා, ඒ ආළෝකයත් එක්කම මුළු ලෝකයම නිල් පාටට බොඳ වෙලා යනව වගේ දැණුන.

පහුවෙනිද මං හිටියෙ මගේ ඥාති දුවගෙ ගෙදර. මං මෙහෙට අව කියල මතකයි, ඒත් ඊට පස්සෙ වුන දේවල් මුකුත් මතක නෑ. මං දුවගෙන් ඇහුව මට මොකද වුණේ කියල, එයා කිව්ව කවුද දෙන්නෙක් මාව ගෙනත් ඇරලුවා කියල, එච්චරයි කිව්වෙ. දින කීපයකට පස්සෙ BBCN බැංකුවට ගිහින් මගේ ගිණුම් බලද්දී NRFC එකේ $107200 ක් තියෙනව. මාව උඩ ගියා, බැංකුවට වැරදිලවත්ද?

සතියකින් විතර මං ලංකාවට ඇවිත් අළුත් ගෙයක් එහෙම හදල පිළිවෙළකට ජීවත් වෙන්න පටන් ගත්ත. ඒත් එක්කම මට ඕනැ තරම් සල්ලි තියෙන හන්දා, උපතින්ම ආසාවන් ගොඩක් අඩු කරගෙන හිටපු මාව ටිකෙන් ටික ආධ්‍යාත්මික ජීවිතයක් කරා ඉබේම යොමු වුණා. මධ්‍යම කඳුකරයේ සිටින අප්‍රසිද්ධ තාපස තුමෙක් ගාවට ගිහින් භාවණා කරන්න පුරුදු වුණා. භාවනාව දිවා රෑ කරමින් සිදුකළ අධික කැපවීම නිසා මට කුණ්ඩලීනී ශක්තිය අවදි කරගැනීමට හැකි වුණා.
කුණ්ඩලීනී යෝගය
=============

ඕක තමයි අපේ කතා නායකයා වන සිරිසේන බාස් උන්නැහේගේ කතාව, ගොඩක් රසවත් දේවල් තිබුණත් ඒවත් පෙරා දමල බොහොම කෙටියෙන් තමයි දැක්වුවේ. අද ඔහු බාස් උන්නැහේ කෙනෙක් නොව සුප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයෙක් සහ දානපතියෙක්. වෙනත් නමක් භාවිතා කරන්නේ.

දැන් ඔබට හිතේවි එයාගේ මතකය සම්පූර්ණයෙන්ම අමතක කළානම් එයා කොහොමද කළින් පෙන්ටගන් එකේදි වෙච්ච දේවල් දැනගත්තෙ කියල. මධ්‍යම කඳුකරයේ සිටින ඒ තාපස තුමා ගාවට වෙලා භාවනා කරද්දී මා මිත්‍ර සිරිසේනයන්ට කුණ්ඩලීනී ශක්තිය ලැබිල තියෙනව. කුණ්ඩලීනී ශක්තියේ මනුස්මරන නැමති වායාවට පැමිණි පසුව ඔහුගේ මතකයෙන් මකා දමා තිබූ සියලුම ස්මරණයන් ඔහුට නැවතත් ඇති වෙලා. එම තාපස තුමාගෙන්ම තමයි මාත් භාවනාව හදාරන්නෙ, එතනදී සිරිසේනයන්ව මා හඳුනාගන්නව. ඔන්න ඔහොමයි කතාවේ පූර්වාපර ගැලපීම සිද්ධ වෙන්නෙ.

දිනක් සිරිසේන මිතුරා සමග මා තාපස තුමාගේ අසපුවේ මිදුලේ සාමීච්චියක සිටියදී අර ඉහත සඳහන් කළ කතාව ඔහු මට පැවසුවා. අපේ ගුරු දේවයාණන් වහන්සේ වන ධ්‍යාන ලාභී තාපස තුමත් එක්ක මේ ගැන සාකච්ඡා කරද්දී හිටි ගමන්ම තාපස තුමා දැහැනට සම වැදිල පෙන්ටගනය ගැන බොහෝ තොරතුරු හෙළි කළා.

තාපස තුමාට අනුව පෙන්ගටනය යනු අතීතයේ රාවණ රජතුමාගේ බලකො‍ටුවක්. රාවණ රජතුමා උතුරු ඇමරිකාව පාලනය කර තිබුනේ එය මධ්‍යස්ථානයක් ලෙස යොදාගනිමින්. තාපස තුමා දැක්වූ ඉතිරි කරුණු වලට මූලාශ්‍ර නොමැති නිසාත් ඒවා ලේසියෙන් කෙනෙක් විශ්වාස නොකරන තාලයේ නිසාත් දැන්ම ඒව ගැන හෙළි කරන්නෙ නෑ.


පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර සහ ඔප්පු කිරීම්
============================

පෙන්ට යනු "පංඤ" හෙවත් "පහ" යන්නය. "අ+ගන්" යනු "අග්‍ර හෙවත් කොන්, මුළු" යන අරුත් දේ. රාවණා රජු විසින් බටහිර ලෝකය පාලනය කරන්නට වත්මන් ඇමරිකාව පිහිටි භූමියේ, එදා නිර්මාණය කළ සුපිරි බළකොටුව එදා හැඳිවූයේ "පංඤ්චග්‍ර බලකො‍ටුව" නමිනුයි. නමුත් පසු කාලීනව ඉංග්‍රීසි උරුව අනුව එය වෙනස් වී "පෙන්ට+අගන්" නම් වුණා.

රසදිය තාක්ෂණයෙන් ආරක්ෂිත මෙම බළකොටුවේ රාවණ රජුගේ විමාන යානා 200 කට පමණ ගොඩ බැසීමේ පහසුකම තිබුණු බව, මෑතකදී කතරගම බුකන්වෙල පර්වතයෙන් සොයා ගනු ලැබූ, පැනිඛ්අත්ථ සෙල් ලිපිය මගින් සනාථ කෙරේ. එහි සඳහන් වූ දෑ මෙලෙසයි, "විම යන දෙශ ශිය ගොඩ පඤ ශ" එනම් "විමාන දෙසීයකට ගොඩ බාන්නට හැකි වූ පංඤ්චග්‍ර" ය. ඒ සෙල් ලිපිය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සිටින රාවණා විරෝධීන් විසින් සඟවලා.

ඊට අමතරව පෙන්ටගනය ප්‍රතිසංස්කරණය කරද්දී එහි මිදුලේ තිබූ සෙල් ලිපියක්ද හමුවී තිබෙනව. එහි සඳහන් වී තිබුණේ "මය රණ අධ ඇම පාඛ ඛණ පඤ් භ ව්‍ර" යන්නයි, එහි හෙළ නිරුක්තිය වනාහි, "මෙය රාවණ අධිරාජ්‍යයා ඇමරිකාව පාලනය කරන පංඤ්චග්‍ර බලකො‍ටුව වේ" අදත් ඒ සෙල් ලිපිය පෙන්ටගනයේ බිම් මහලේ ඇති කෞතුකාගාරයේ සුරක්ෂිතව තැන්පත් කර ඇති බව, හෙළි කිරීමට නොහැකි ආකාරයකට මා හට දැනගන්නට ලැබුණි. 

මුලින් දැක්වූ පරිදි සිරිසේන මහතා මුහුණ දුන් සිද්ධියෙන්ද එය ඔප්පු වෙනවා. එවැනි විමාන යානා තවත් සිය ගණනක් පෙන්ගටනය තුල නිදන්ගතව තිබෙනවා ඇති. එසේම රසදිය වලින් එම විමාන ගුවන් ගත කළ බවත්, ඒ ගුවන් යානා වල නියමුවන් ලෙස රාවණ රජතුමාගේ මහසොහොන් බලකායේ සෙබලුන්ව යොදාගෙන ඇති බවත් සිරිසේනයන්ගේ කථාන්තරයෙන් පැහැදිළියි. සාමාන්‍යයෙන් මහසොහොන් බලකායේ සෙබළුන් සතුරන්ව බිය කිරීමට මහසොහොන් වෙස් මූණ පැළඳගෙන සිටිනවා.

ඔබට මතක ඇති 2011 වසර අගදී ඇමරිකාව ශ්‍රී ලංකාව ආක්‍රමණය කරන බවට සම්‍යක්දෘෂ්ඨික නාථ දේව රාජෝත්තමයාණන් වහන්සේ මහදුරු නලින්ද සිල්වා මහතාට පැවසූ බව. එතුමා එය ප්‍රසිද්ධ ජනමාධ්‍ය හරහා හෙළි කළා. නමුත් එලේ 2011 දී ශ්‍රී ලංකාවට ආක්‍රමණයක් සිදුවුණේ නෑ. ඊට හේතු වූයේ ශ්‍රී ලංකාව ආක්‍රමණය කිරීම සඳහා F22 ගුවන් යානා විස්සක් ක්‍රියාත්මක කරන්න හදද්දීම, හදිසියේම බැ‍රැක් ඔබාමාට දිස් වූ යක්ෂ සේනාධිපතියෙක් එය නවත්වන්න යැයි අණ කිරීමයි. එසේ නොකළානම් මුළු පෙන්ටගනයම පුපුරුවා හරින බවට එම යක්ෂ සේනාධිපතිවරයා ඔබාමාට තර්ජනය කර තිබෙනව. මේ බව මා දැනගත්තේ මගේ ගුරුදේවයාණන් වහන්සේ වන තාපස තුමාගෙන්. එය විශ්වාස කිරීම හෝ නොකිරීම ඔබගේ වැඩක්.

සිරිසේන මහතා සොයාගත් යානයේ හිටපු නියමුවා තාමත් ඒරියා 51 හි ජෛව රසායනාගාරයක නේවාසිකව සිටිනව. ඔහු හෙළ යකෙක්. මාව ඒරියා 51 ට ගෙන ගිය වෙලාවෙ මට ඔහුවත් මුණ ගැස්සුව. ඔහු භාවිතා කළ බාසාව බොහොම පැරණි හෙළ ප්‍රකෘති බසක්. ටික ටික ඔහු කියන දේ තේරුණා. මා අපේ හෙළදිවේ දැන් තත්ත්වය පැහැදිළි කළාම ඔහු හරිම කණගා‍ටුවට පත් වුණා. 

පංඤ්චග්‍රාභිධානය නැමැති ඉපැරණි පුස්කොළපොතේ මැවිසිනෙසුරු නැමති ටීකාවේ, රාවණා රජතුමා විසින් ඇමරිකානු මහාද්වීපය පාලනය කිරීමට පංඤ්චග්‍ර බලකො‍ටුව යොදාගත් ආකාරය පැහැදිළි කර තිබෙනව. එහි ප්‍රධාන පරිපාලන නිලධාරියා ලෙස යොදවා ඇත්තේ පංඤ්ඤසේකර නමැති තනතුරෙන් හඳුන්වන අයෙක්. පංඤ්චග්‍රාභිධානය පුස්කොළපොත අදත් ලන්ඩන් කෞතුකාගාරයේ සුරක්ෂිතව තැන්පත් කරල තිබෙනව. 

වර්ගපූර්ණිකාව නැමැති ඉපැරණි යක්ෂ ගෝත්‍රික පුස්කොළපොතට අනුව පංඤ්චග්‍ර බලකො‍ටුවේ ආරක්ෂාවට හෙළ යකුන් තුන් දහසක් යොදවා තිබෙනවා. එහි ගව්වක් දුරට මඩ අගලත්, ගව්වක් දුරට දිය අගලත් පිහිටා තිබෙනව. පහත රූපයේ ඔබට දකින්නට ලැබේවි ඉපැරණි පංඤ්චග්‍ර බලකො‍ටුවේ දිය අගලේ කොටසක් තාමත් දිස් වෙන හැටි

රාවණ රජතුමා විසින් ශවභාවනාවාපානකාරධානයකය නමැති අසුර මන්ත්‍රය දශ ලක්ෂ වාරයක් මතුරා පංඤ්චග්‍ර බලකො‍ටුව වටේට ඉස තිබෙනව. ඒ අනුව එය අපරාජිත භූමියක්. එනිසයි 9/11 ප්‍රහාරයෙන් WTC එක සමතලා කළ හැකි වූ නමුත් පෙන්ගටනයට එවැන්නක් කළ නොහැකි වූයේ. ඒ භූමියේ ඇති ශක්තිය මොනයම් ආකාරයකින් හෝ හඳුනාගත්ත, අතීත හෙළයින්ගේ යටත් ජන කණ්ඩායමක් වූ රතු ඉන්දියානු ගෝත්‍රිකයින් ඒ බව ඇමරිකන් ආණ්ඩුවට දැන්වීමෙන් පසුව, ඇමරිකානු ජනාධිපති ෆ්‍රෑන්ක්ලින් ඩී රුස්වෙල්ට් විසින් එය නැවතත් 1941 දී ගොඩ නැගීම ආරම්භ කෙරුණා. අද ඇමරිකානුවන් ලෝකෙටම තම ශක්තිය පෙන්වන්නේ අප හෙළයින්ගේ තාක්ෂණයට පින් සිද්ද වෙන්නයි.



1 comment:

fb comments

Comment with Facebook