details

Email:madhawavish@gmail.com Phone:0714760652 Best Regards... to follow this blog by sms for free, type follow madhawablg and send to 40404

Friday, October 10, 2014

‘විශ්ව ශක්තිය’ බුදු දහමට එකඟ ද?

ප්‍රමාණාත්මකව ලෝක ධාතුව අචින්ත්‍ය වන්නා සේම එහි හැසිරීම හෙවත් ක්‍රියාකාරී ස්වභාවයද අචින්ත්‍ය වෙයි. ලෝක ධාතුවේ ශක්ති සමවායෙන් හටගන්නා භෞතික වස්තු සීමිත සංඛ්‍යාවක් ඓන්ද්‍රිය වශයෙන් 
අපට ගෝචර කරගත හැකි වන අතර, ශක්තීන්ගේ සීමිත ප්‍රමාණයක් හා ඒවායේ ක්‍රියාකාරී ස්වභාවය, ඒ අනුව නිරීක්‍ෂණය කළ හැකි වෙයි. ඒ සියල්ල පිළිබඳ නිරවශේෂ, පිරිසිඳ අවබෝධය, සම්මා සම්බුද්ධත්වය යි.

විශ්ව ශක්තිය, නව යුගයේ බොහෝ උගතුන්ගේ සංවාදශීලි සාකච්ඡාවලට විෂය වූ මාතෘකාවකි. නවීන විද්‍යාත්මක පසුබිම සහ ආගමික පසු බිම යන දෙක මත සිට මේ ගැන පුළුල් ලෙස විග්‍රහ කෙරේ. විශ්වය යනු Universe යන ඉංගී‍්‍රසි වචනය සඳහා ද ශක්තිය යනු energy යන ඉංගී‍්‍රසි වචනය සඳහාද පාරිභාෂිතව යෙදී ඇති වචන දෙකකි. ඒ අනුව Universal energy යනු විශ්ව ශක්තිය වෙයි .University යන්නට විශ්වවිද්‍යාලය යනුවෙන් මිශ්‍ර සිංහලයෙහි යෙදී ඇත. වාචික ව්‍යවහාර කෙටියෙන් එසේ ය. 

අප ජීවත්වන පෘථිවිය අයත් වන සෞරග්‍රහ මණ්ඩලයේ කේන්ද්‍රස්ථානය සුර්යයා ය. අපට සූර්යයා අධිපති වුව ද, එයද ක්‍ෂීර පථය නම් මන්දාකිණියේ පුංචිම පුංචි සාමාජිකයෙකි. සඳ නැති පැහැදිලි රැයෙක දකුණු දිශාවෙන් උතුරු දිශාවට විහිදෙන පු‍්‍රළුන් රොදක් වැනි වළා පටලටයක ස්වරූපයෙන් අපේ පියවි ඇසට මෙම ක්‍ෂීර පථය දැක ගත හැකිය. එය සමන්විත වී ඇත්තේ අපේ සූර්යයා වැනි වූ සූර්යයන් අප්‍රමාණ සංඛ්‍යාවකිනි. මෙවැනි මන්දාකිණි අනන්ත සංඛ්‍යාවක් අවකාශයෙහි ඇත්තේ ය. ඒවා කිහිපයක් නූතන විදු ඇසට ගෝචර වී ඇති නමුත් සමස්තය කවරදාකවත් නිරීක්‍ෂණය කළ නොහැකි ය. දියුණුම උපකරණයකින් තබා, සිතෙන්වත් මෙපමණ යැයි සිතා ගත නොහැකි හෙවත් අචින්ත්‍ය වූ ඒ සමස්තයට හා ඒ සමස්තය පවතින්නා වූ අවකාශයට විශ්වය යැයි අපි කියමු. ඒ අනුව අපට විශ්වය යන වචනය ඇසෙන විටම ද්‍රව්‍යමය ස්වභාවයක් ගන්නා අනන්තයක් පිළිබඳ චිත්ත රූපයක් නිතැතින්ම මැවෙයි. 

ඊළඟට, ශක්තිය යනු කුමක්දැ’යි විමසිය යුතුවෙයි. එසේ විමසන විට , එය කෙසේ නම් විස්තර කළ හැකි ද යන ගැටලුවක් මතු වෙයි. ශක්තිය යනු විශ්වයෙහි ම පවතින, එහෙත් විශ්වයෙන් අන්‍ය වූ ස්වභාවයක්ද නැතහොත් විශ්වයම ශක්තිය වේද එසේත් නැති නම් ශක්තියම විශ්වය වේද යන උපකල්පන අප සතු ඥාන මට්ටම්වල සිට විමසා බැලිය හැකි ය. නවීන විද්‍යාවට අනුව ශක්තිය යනු කාර්ය කිරීමේ හැකියාව ලෙස දැක්වෙයි. එහි එන ශක්ති සංස්ථිති නියමයට (Law of Conservation of Energy) අනුව, කිසිම ශක්තියක් අලුතෙන් උපදින්නේ හෝ තිබෙන ශක්තියක් නැති වන්නේ හෝ නොවේ. සිදුවන්නේ, එක් ශක්ති විශේෂයක් තවත් ශක්ති විශේෂයකට පරිණාමය වීම (transformation) වීම පමණකි. මසැසට ගෝචර නොවන සියුම් පරමාණුවක න්‍යෂ්ටිය බිඳීමේ දී මුක්ත වන ශක්තිය, අති විශාල භූ®මි භාගයක් දවාලන්නට සමත් වෙයි. කාය ශක්තිය, චින්ත ශක්තිය මෙන් ම කර්ම, ආකර්ෂණ, තාප, විද්‍යුත් , ආලෝක, චාලක ඥාන ඈ බොහෝ ශක්ති ස්වරූප ගැන ව්‍යවහාරයෙහි එයි. ‘ශක්තිය’ යනු යෙදුම නොමැතිව, ද්‍රව්‍යමය මෙන්ම අද්‍රව්‍යමය දේවල ක්‍රියාකාරී ස්වභාව විස්තර කළ නොහැකි බව පෙනෙයි. මේ අනුව සත්‍ය වශයෙන්ම ඇති නමුත් ඇති බව නොපෙනෙන , පරමාර්ථ ධර්ම ලක්‍ෂණ ගන්නා වූ ද, ඵලය මගින් ම එහි පැවැත්ම ප්‍රකට කැරෙන්නා වූ ද ක්‍රියා සාධකයක් ලෙස, ශක්තිය හැඳින්විය හැකි ය. 

ස්වකීය මනස ම විද්‍යාගාරය කරගෙන සර්වඥතා ඥානය උපදවා ගත් බුදුරජාණන් වහන්සේ මෙකී විශ්වය සහ ශක්තිය පිළිබඳ කර ඇති පැහැදිලි කිරීම, විශ්මය ජනක ය. විදු ඇස ඉක්මවා ගිය බුදු ඇසින් මේ ධර්මතා පිරිසිඳ දුටු උන්වහන්සේ එය ලෝක විෂය ලෙස ද, අවකාශ ලෝකය ලෙස ද හඳුන්වා ඇති බව, දහමෙහි දැක්වෙයි. ලෝක විදූ ගුණයේ ඇති මහත්වය එය යි. ලෝක විෂයය, අචින්ත්‍ය ය. විශ්වය හා ශක්ති පිළිබඳ පරිසමාප්ත විස්තරයක් කිරීමට කිසිවකුටත් නොහැකි ය. ඍද්ධි බලයෙන් අග තැන්පත් මුගලන් මහ රහතන් වහන්සේ, වරක් මේ ලෝක ධාතුවෙහි කෙළවර සොයා යෑමට ගත් උත්සාහයේ දී එහි නිශ්ඵලභාවය බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් සේක. 

අද විද්‍යාවෙන් විස්තර කැරෙන මන්දාකිණියක් යනු බුදුදහමේ විස්තර කැරෙන. ලෝක ධාතුවක් යන්නට තුල්‍ය බව පිළිගැනෙයි. 
සහස්‍ර ලෝක ධාතුව ශත සහස්‍ර ලෝක ධාතුව ආදී වශයෙන් බුදු ඇසින් දුටු ලෝක ධාතු යනු, අද අප කථා කරන විශ්වයයි. සදෙව් ලොව සහ බඹ ලොව අපේ සූර්යයාම කේන්ද්‍ර කරගත් ලෝක බව සූත්‍රාන්ත දේශනාවන්හි දැක්වෙයි. ඒ අනුව, ද්‍රව්‍යමය ලෝක හැරුණුකොට භෞතිකයට හසු නොවන අදිසි අද්‍රව්‍යමය ලෝකද අනන්ත වූ ලෝක ධාතුවට (විශ්වයට) අයත් බව, බුදුරජාණන් වහන්සේගේ සර්වඥතා ඥානයට විෂය විය. විශ්වය පිළිබඳ උන් වහන්සේගේ දැනුම් පරාසය, විදු ඇස ඉක්මවා යයි. 

ශක්තිය පිළිබඳ බුදු දහමෙහි විස්තර කැරෙන සත්‍යය දැනුම පිළිබඳ සීමා ඉක්ම වූ අවබෝධය සමග ප්‍රතිබද්ධ වූවකි. භෞතිකය තුළ විස්තර කැරෙන සියලු ශක්ති ප්‍රභව බුදු දහමෙහි “ රූප ධාතු” නම් ධර්මතාවට ගොනු වෙයි. සියලු සත්ත්ව ශරීර, රූප ධාතු වෙත්. ගස්, ගල්,ජලය , ආලෝකය , ශබ්දය ආදී පරිබාහිර සියලු දේ ද රූප ධාතු වෙත්. සිත සහ සිත සමගම ‘ඒකුප්පාද ‘ ‘ඒකනිරෝධ ‘ වන චෛතසික සියල්ල ‘නාම ධර්ම’ ලෙස හැඳින්වෙයි. ඒ අනුව භෞතික හා අභෞතික සියල්ල නාම රූප වලට සංගෘහිතය. සමස්ත ලෝක ධාතුව (විශ්වය) නාම රූප, අවකාශ යන ත්‍රිත්වයට ඇතුළත් ය. මෙහි අවකාශය හෙවත් ආකාශ ධාතුව ද, අභිධර්මයට අනුව රූප ධාතුවටම ඇතුළත් ය. 

මුලින් සඳහන් කළ ‘විශ්වය යනු ශක්තිය ද නැතහොත් ශක්තිය යනු විශ්වය ද ‘ යන කාරණය විමසමු. බුදු දහමෙයි මේ ගැන ප්‍රමාණවත් පැහැදිලි පිළිතුරක් ඇත. මේ කාරණය සාකච්ඡා කිරීම සඳහා බුදු දහමෙන් නිර්දේශිත සත්‍ය සිද්ධාන්ත තුනක් පදනම් කර ගත හැකි ය. 

1. සියලු රූප ධාතු, ශක්ති හතරක සමවායකි. නැතහොත් ඒවායේ ව්‍යුත්පන්න (derivatives) වෙත් 

2.සියලු නාම ධර්මයෝ පංචේන්ද්‍රිය විෂයෙහි ගෝචර නොවෙත් 

3. හේතූ®න් නිසා හටගත් නාම රූප සියල්ල (සංඛත) අනිත්‍ය වෙත් 

සියලුම රූප ධාතුවල මූලෝත්පාදනය පරමාර්ථ වශයෙන් පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන මහා භූතරූප සතර වෙත්. පරම යන්නෙන් උසස් උපරිම යන අදහසත් පරමාර්ථ ධර්ම යන්නෙන් ඉන් එහාට බෙදා දැක්විය නොහැකි යන අදහසත් දක්වයි. පරම සතුරා යනුවෙන් ප්‍රකාශ කැරෙන්නේ ඊට එහා සතුරකු නැති බව යි. ඒ අනුව, පඨවි, ආපෝ, තේජෝ, වායෝ යනු, රූප ධාතුවක අවසාන සංයුති යයි. පරම ස්වරූපයයි. 

ජලය මතට අයිස් කැටයක් දැමූ විට එය පාවෙමින් පවතින බවත්, ජලය වෙනමත් අයිස් කැටය වෙනමත් තිබෙන බවත් අපට පෙනේ. නමුත් ඒ දෙකම ජලය බව අපට ප්‍රත්‍යක්‍ෂ ය. ජලයේ පඨවි ගුණය වැඩි වූ නිසා අයිස් කැටය නිර්මාණය විය. එහි කිසි දේව හාස්කමක් නැත ජලය සහ අයිස් කැටය යනු අප සංඥා සම්මුතියෙන් යොදාගත් නම් දෙකකි.මේ ආකාරයෙන් විවිධ ස්වරූප අපට තේරුම් ගත හැකිය. මෙකී සිව් මහ ධාතු පංචේන්ද්‍රිය වලට ගෝචර නොවෙත්, ඒවා තේරුම් ගැනීම සදහා ගුණ ලෙස හෝ ශක්ති ලෙස හදුන්වනු ලැබෙත්. මේ සියලු මූල ධාතු ඉහත තෙවැනි සිද්ධාන්තයෙන් දැක්වෙන ලක්‍ෂණ ගනිත්. එනම් ක්‍ෂණයක් පාසා පෙරළෙයි. වෙනස් වෙයි. පරිණාමයට ලක් වෙයි. තවද එකී ශක්ති හතර සැමවිටම සමවාය පැවැත්මක් ගනී. වෙන්ව පවතින එකක්වත් නැත. ඉහත දෙවනුව දක්වන ලද නාම ධර්මයෝ ස්වභාවයෙන් ම අද්‍රව්‍ය වූ ශක්ති ස්වරූපයෝම වෙත්. ඒවාද අනිත්‍ය ලක්‍ෂණයට යටත්ය. මේ අනුව විශ්ව ශක්තිය යනුවෙන් කිසිවක් නැතැයි සමහර දක්වන මතය, බුදුසමය තුළ ප්‍රතික්‍ෂ්ප වෙයි. මුළු ලෝක ධාතුවම (විශ්වයම) ශක්ති සමුච්චිතයක් බව පරමාර්ථ දර්ශනයෙන් ප්‍රත්‍යක්‍ෂ වන සත්‍යයකි. 

ප්‍රමාණාත්මකව ලෝක ධාතුව අචින්ත්‍ය වන්නා සේම එහි හැසිරීම හෙවත් ක්‍රියාකාරී ස්වභාවයද අචින්ත්‍ය වෙයි. ලෝක ධාතුවේ ශක්ති සමවායෙන් හටගන්නා භෞතික වස්තු සීමිත සංඛ්‍යාවක් ඓන්ද්‍රිය වශයෙන් අපට ගෝචර කරගත හැකි වන අතර, ශක්තීන්ගේ සීමිත ප්‍රමාණයක් හා ඒවායේ ක්‍රියාකාරී ස්වභාවය, ඒ අනුව නිරීක්‍ෂණය කළ හැකි වෙයි. ඒ සියල්ල පිළිබඳ නිරවශේෂ, පිරිසිඳ අවබෝධය, සම්මා සම්බුද්ධත්වය යි. 

චිත්ත විභාගය අනුව ඵස්ස, වේදනා, සංඥා, චේතනා, මනසිකාර ලෙසටත් , පංචස්කන්ධ විභාගයේ දි වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ, ලෙසටත් ගැනෙන නාම ශක්ති ධර්මයෝ, රූප ධාතුන් (ශක්තීන්) ගේ හට ගැනීමට ප්‍රත්‍ය වන්නා සේම, සතර මහා ධාතූ®න්ගේ සමවායයෙන් වූ රූපධාතු, නාම ධර්මයන්ගේ හට ගැනීමටද ප්‍රත්‍ය වන බව, බුදු සමය පෙන්වා දෙයි. එනම් ඒවා එකිනෙකට ප්‍රත්‍යව පවතින බව කළ කලාප සූත්‍රයේ දී මනාව පැහැදිලි කැරේ. 

“එක සැම විටම එකක්මය” යනු පරමාර්ථ ධර්ම තේරුම් කිරීමට යොදා ගැනෙන ප්‍රයෝගයකි. එක, දෙකක් වේ නම් එය පරම අර්ථය නොගනී. ඒ අනුව පඨවි ධාතුව එකක් මය. එය දෙකක් බවට බිඳිය නොහැකි ය. එලෙසම සිත එකක් ම ය. එනිසා පරම අර්ථය ගනී. 

උපුටාගැනීම :- 
( බුදුසරණ අන්තර්ජාල කලාපය )

No comments:

Post a Comment