details

Email:madhawavish@gmail.com Phone:0714760652 Best Regards... to follow this blog by sms for free, type follow madhawablg and send to 40404
Showing posts with label europe. Show all posts
Showing posts with label europe. Show all posts

Tuesday, October 7, 2014

එංගලන්තය, රාවණ රජතුමාට තිබූ විදේශ යටත් විජිතයකි.

හෙළෝ!, අද ටිකක් වෙනස් දෙයක් ගැන කතා කරන්න සිත් විය. ඒ තමයි එංගලන්තය!

දැන් ඔබ හිතාවි ආයුබෝවේවා! නොකියා ඇයි මේ "Hello" කියමින් පර සුද්දන්ගේ බාසාවෙන් මේ හෙළගවේශණ වර්ගපූර්ණිකාවෙ ලිපිය පටන් ගත්තෙ කියල. ඊට හේතුව තමයි එයත් අපගේ හෙළ වදනක් වීම. සැබෑ රාවණගවේශකයෙක් වූ අරිසෙන් අහුබුදු තුමාට අනුව "හෙළෝ" යන වචනය හැදී තියෙන්නේ, රාවණා රජතුමාග කාලයේදී තලබනුවෙන් බණන විට හෙළයෙක්දැයි දැනගැනීමට ග්‍රාහකයා "හෙළෝ" කියා අසන නිසයි. හෙළ+ඕ=හෙළෝ. අනික් පස සිටින්නේත් හෙළයෙක්නම් ඔහුත් "හෙළෝ" කියා ප්‍රතිචාර දක්වයි. ඒ සිරිත සිට අද දක්වාම එය පැවතෙයි. 

එය ඉංග්‍රීසි බසට ඇතුලත් වුණේ කෙසේද කියා ඔබ දනීද? "ඉංග්ලිශ්" යනුත් "සිංග්‍රීසි" යන හෙළ පදයෙන් හැදුණ පදයකි. එනම් සෙල්ටික් නැමති ඉපැරණි ගෝත්‍රිකයින් යටත් කර එංගලන්තය ශිෂ්ටාචාරය කළ ආදීතමයන් වූයේ හෙළයින්ය. රාවණ යුගයේදී අතීත හෙළයින් ග්‍රීසිය හරහා එහි පැමිණි අය නිසා සිංහල+ග්‍රීසි දෙක එකතු වී ඔවුන්ව "සිංග්‍රීසි" ලෙසයි හඳුන්වා ඇත. ඔවුන්ගේ බාසාවත් "සිංග්‍රීසි" ලෙස හැඳින්වුණි. එමෙන්ම සිංහලයන් ලබා ගත් ඒ බිම "සිංහලන්තය" ලෙසත් හැඳින්වුණි. හෙළයෙක් වීම ගැන ආඩම්බරයි නේද?

බොහෝ කළකට පසුව රාවණා රජතුමා නිද්‍රාවට පත් වීමෙන් පසු කාලයේදී සිදුවූ "එංගල්" වරුන්ගේ (එංගල් වරුන් යනු ඇන්ග්ලෝ - සැක්සන්ඇන්ග්ලෝ - නෝර්මන් කියන ගෝත්‍රයන් දෙක) ආක්‍රමණයත් සමග සිංහලන්තයේ සිටි සිංහලයන් සහ සෙල්ටික් වරුන්ව යටපත් වී ගිය නිසා සිංහලන්ත රාජ්‍යය "ඉංග්ලන්ඩ්" බවට පත් විය. එහි භාවිතා කළ සිංග්ලිශ් නැමැති බස "ඉංග්ලිශ්" ලෙස වෙනස් වුණි.
ඉහත රූපයේ දැක්වෙන්නේ එංගලන්තයේ සහ වේල්සයේ සිතියමයි. ඊළඟට පහතින් දැක්වෙන්නේ පහළොස් වන සියවසේදී අක්ශාංශ සහ දේශාංශ 100% ක් ඉතාම නිවැරදිව ගෙන ටොලමි ඇන්ද තැප්‍රොබානා (ශ්‍රී ලංකා) සිතියමයි. මේ සිතියම් දෙක හොඳින් නීරීක්ෂණය කළහොත්, එංගලන්තය සිතියම තැප්‍රොබානා සිතියමේ වම දකුණ මාරු වීමක් බව ඔබට පෙනේවි. 


ආදී සිංහලන්ත දිවයින, ලංකාපුරයට යට පැත්තේ පිහිටා තිබීම නිසා රාවණ රජතුමා විසින් එය ලංකාපුරයේ අනිත් පැත්තට ගැලපෙන ආකාරයට න්‍යෂ්ඨික පිපිරීම් සිදුකර සැකසුව බව, ඉපැරණි යක්ෂ ගෝත්‍රික පුස්කොළපොතක් වන වර්ගපූර්ණිකාවේ, ලෝනාගවසකය නැමැති ටීකාවේ දැක්වේ. එසේ කළේ විශ්ව ශක්ති නියමයට අනුව ලෝකය සමතුලිත කිරීමටළු. බොරුයි කියා සිතේනම් වර්ගපූර්ණිකාව හොයාගෙන කියවල බැලිය හැක. නමුත් කාලයත් සමග ඇතිවූ සුනාමි(සු=සුණුවිසුණු, නා=වතුර, මි=මිහිතලය, ඒක නිසා සුනාමි කියන්නේ පොලොව සුනු විසිනු කරන වතුර කියන එක. මූලාශ්‍රය: අරිසෙන් අහුබුදු සූරීන්ගේ පද පෙරළියක්) සහ සමුද්‍ර ඛාදන තත්ත්වයන් නිසා, අංගසමව තිබූ සිංගලන්තයේ සහ ලංකාපුරයේ හැඩරුව එකිනෙක වෙනස් විය.

ඒ ආකාරයෙන් චක්‍රවර්තී දසිස් රාවණා රජතුමා විසින් පාලනය කළ අතීත සිංහලන්ත (අද එංගලන්ත) දිවයිනේ හැම නගරයක් නගරයක් පාසාම තාමත් ශ්‍රී රාවණ නරේන්ද්‍රයාගේ කිතු ගොස ‍රැව්-පිළි‍-රැව්දේ. වර්තමානයේදී එංගලන්තයේ ඇති නගර වල නම් පවා බිහි වීමට රාවණ රජතුමා මූලික වූ බව අද සනාථ වී අවසානයි. ඒවා එකින් එක බලමු. 

රාවණ රජතුමාගේ අනුදැනුම අනුව ලංකාපුර රාජධානියේ සිට එංගලන්තය ලෙස අද හැඳින්වෙන බිම ශිෂ්ටාචාර කිරීමට ගොඩබිමින්, ගුවනින්-දඬුමොණර යාත්‍රා වලින්, මුහුදෙන් මෙන්ම මූද යටින්ග්‍රීසිය හරහා බටහිරට සංක්‍රමණය වූ හෙළ අසුර සේනාව, සිංහලන්තයේදී කමියුනිටියක් ලෙස "හැමිල්ටන්" හීදී මූලිකවම එක් වුණි.
හෙළයන් හැමෝම එක් වූ තැන => හැම+හෙළ+ස්ථානය => Hamilton

ඊට අමතරව කවදත් යුද්ධයේ දක්ෂ රකුසන් (රක්+උස්=රකුස්) අවකාශකාළ පණු සිදුරක් හරහා (අපගේ ඉපැරණි පුස්කොළපොත් කියවූ බටහිරයින් එය Wormhole ලෙස හඳුන්වතත් තාමත් උන්ට එය අවබෝධ කරගැනීමට නොහැකි වී ඇත) පැමිණි තැනට ඇක්ස් බ්‍රිජ් ලෙස හැඳින්වුණි. ඇක්ස් යනු "යක්ෂ" යන්නෙහි යුරෝපීය රාවණ යටත් වැසියා භාවිතා කළ "යක්ස්" යන්නට පසුව යෙදුණු ව්‍යවහාර නාමයකි. 
යක්ස්+රකුස්=ඇක්ස්. යකුන් සහ රකුසන් පැමිණි අවකාශකාළ පණු සිදුර "ඇක්ස්-බ්‍රිජ්" නම් විය.
ඇක්ස්+බ්‍රිජ් = Axbridge

යක්ෂ ගෝත්‍රයේ අග රජු වූ රාවණයන්ට බිහිසුණු භූත සේනාවක්ද සිට ඇත. අද එංගලන්තය ලෙස හැඳින්වෙන භූමිය ආක්‍රමණයට රාවණ අනින් පැමිණි ඔවුහු මුලින්ම ප්‍රාදුර්භූත වූයේ මේ "භූතල්" නම් ස්ථානයෙන්ය.
භූතයින් සපැමිණි තලය => භූතලය => භූතල් => Bootle 

අදද බුද්ධි අංශය යනු හමුදාවක ඇස් කන් වාගේය. රාවණ සමයේත් එසේමැයි. ඉතින් එම ආක්‍රමණයට ගිය රවණ රජුගේ සේනාවේ බුද්ධි අංශය රඳවා තැබූ තැන, රාවණ රජතුමාගේ අස් සහ කන් ලෙස ප්‍රකට විය. පසුව එය ඇස්කර්න් විය. 
ඇස් සහ කන් => ඇස්කර්න් => Askern 

චතුරාංගනී සේනාව සැපැමිණි පසුව ආක්‍රමණය පුද්ගලිකවම මෙහෙයවීමට යුද්ධයේ හසළ දක්ෂයෙක් වූ රාවණ රජතුමා පැමිණියේය. එතුමා පැමිණියේ රසදිය+න්‍යෂ්ඨික තාක්ෂණය භාවිතාවෙන් ඉගිලෙන පුෂ්පකය නැමති යෝධ කුරුල්ලෙකුගේ හැඩය ඇති දඬුමොණරයෙනි. රාවණයන්ගේ යෝධ දඬු මොණර යන්ත්‍රය මහා පක්ෂි ස්වරූපය දැකීමෙන් එදා එහි සිටි සෙල්ටික් වැසියෝ ඇත්කඳලිහිණි සංකල්පයක් හදාගත්තේය. ඒ අනුව ක්‍රේවන් යනු ඇත් කඳ ලිහිණියා නම් යෝධ පක්ෂියාට කියන නාමයකි. දඬුමොණරයේ පාද තබා ගොඩ බෑ තැන ක්‍රේවන් ආම්ස් නම් විය. 

ඇත් කඳ ලිහිණියාගේ පාද => ක්‍රේවන් ආම්ස් => Craven Arms 

උගේ පා තැබූ ස්ථානය ලෙස ක්‍රේවන් ආම්ස් නැමැති ස්ථානය ප්‍රකටව තිබුණත්, මෙහි සැබෑව දන්නේ හෙලුවන් කීප දෙනෙකුම පමණි. "ලධන්නක නොබ්බේ" තඹ සන්නසෙන් මෙම පක්ෂි ස්වරූපය මෙපරිද්දෙන් විග්‍රහ කෙරේ 

"රාවා ශස්ථ පාද ආකාශ සල සුමට්ට - ප්‍රාක ගිරු රූප - අප්‍රාක නර සීහ" 

මින් අදහස් කෙරෙන්නේ රාවණා ආකාශයේ ගෙන ගිය යන්ත්‍රයේ ඉහළ කොටස ගිරවෙකුගේ හැඩයෙන් යුතු අතර, පහත කොටස නර සීහ නම් සත්වයාගේ හැඩයෙන් යුතු වන්නේය යන්නය. "ලධන්නක නොබ්බේ" තඹ සන්නසට එවැනි හෙළු නොවන නමක් වැටී ඇත්තේ එය වසර සිය ගණනක් "නොබ්බේ" නැමැති මැලේ ජාතිකයන් විසින් සුරැකිව තබා ගත් නිසාය.

දසිස් රාවණා අධිරාජ්‍යයාට හිස් ගෙඩි දහයක් තිබුණු බව ඔබ සැවොම දනී. දසිස් රාවණා අධිරාජ්‍යයා අතීත එංගලන්තය ආක්‍රමණය කිරීමට ගිය මොහොතේදී මුල් වරට සෙල්ටික් පුරවැසියන් අබිමුවෙහි තම චන්ද්‍රහාස් අසිපත සුරතට ගෙන, තවත් අවි ආයුධ මායාවෙන් මවා ගත් අත් වලට ගෙන, කාලවර්ණ බියකරු දේහයක් පෙන්වමින් අහසට නැගී මේඝනාදය කරමින් සිය තේජෝ බල පරාක්‍රමයෙන් පෙනී සිටි දිනයේ, සිංහයෙකු දුටු මුව පොව්වන් මුළක් සේ භීෂණයට පත් සෙල්ටික් වැසියෝ "රාවණා නම් හිස් ගෙඩි දහයක්(ටෙන්) සහිත උස පුරුෂයෙක්(ටෝල්) පැමිණ ඇත" යනුවෙන් විළාප කීහ. එම මුල් දර්ශණය වූ ස්ථානය "රෝව්+ටෙන්(හෙඩ්ස්)+ටෝල්" හෙවත් රෝව්ටෙන්ස්ටෝල් විය. 
"රෝව්+ටෙන්(හෙඩ්ස්)+ටෝල්" => රෝව්ටෙන්ස්ටෝල් = Rawtenstall 

කුළු හෙවත් කුලා ලෙස හඳුන්වනුයේ එංගලන්තයේ බහුලව දක්නට ලැබෙන කඳුකර ගවයන්ය. ශීත කඳු ශිඛර මත වාඩි ලා ගෙන සිටි පෙරදිගින් ගිය රාවණ හමුදාවන්ට ශීතලෙන් ආරක්ෂා වීම සඳහා මේ කුළු ගවයන්ගේ ලොම් අවශ්‍ය විය. ඉතින් ගවයින්ගේ ලොම් ගෙන ගබඩා කළ තැන්, කුළු ලෝම තැන් නම් විය. පසුව එය කුල්ලෝම්ප්ටන් නම් විය. 
"කුළු + ලෝම + තැන්" => කුල්ලෝම්ප්ටන් = Cullompton 

අතිශයින් විෂ රසායනිකයන් පොවණ ලද වැලක් බඳුවූ "නැබ්බ තිති" ආයුධය රාවණාගේ පෙරමුණේ සෙනෙවියන් භාවිතා කළ සුපිරි අවියකි. මේ අවිය "ගැම්මා අහයි එට් බැක්ස්" නම් බටහිරින්ම සොයා ගත් දුර්ලභ රතු පැහැ විෂෙහි ඔබා සකස් කරන ලද අවියකි. එහෙයින් හෙලුවෝ මෙයට "රත් වැල්" ලෙස හඳුන්වනු ලැබීය. ඒ අවි ගබඩා කළ තැන "රත්වැල්" හෙවත් "රොත් වෙල්" නම් විය. 
රත්වැල් => රොත් වෙල් = Rothwell 

එංගලන්තය යටත් කිරීමට දැන් සියල්ලම සූදානම්ය, යුද පෙරමුණ ඇරඹුනි. රාවණ රජතුමාගේ අණ ලැබෙන තුරු සන්නාහ සන්නද්ධව කොඩිතුවක්කු ඇතුළු නවීනතම අවි අතට ගත් හෙළ සේනාවෝ එක් පසෙක සීරුවෙන් බලා සිටී. අනෙක් පස අඩ නිරුවතින් සිටින අමුම අමු ගෝත්‍රිකයින් වූ සෙල්ටික් වරුන් දුනු ඊතල වලින් සන්නද්ධව මාන ලා සිටී. අවශ්‍ය ඕනෑම මොහොතක ඉදිරියට ගොස් දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීමට දෙදහසක් පමණ වූ දඬුමොණර සේනාංකය මදක් පොළොවෙන් ඉහළට එසේවිණි. ඊට ප්‍රතිචාර වස් සෙල්ටික් ගෝත්‍රිකයින් කළේ හූ නාදයක් පැවැත්වීම පමණි. මේ අතර රා-ක‍ටුවකින් අහසට පැන නැංග රාවණ පුත් ඉන්ද්‍රජිත් ස‍ඳෙහි සවි කර තිබූ තම ලේසර් තුවක්කුව කෙළින්ම එංගලන්තය තිබූ භූමිය දෙසට මාන ලෑවේය.
දෙපසම යුධ නලාවන් වැයුණි. සෙල්ටික් ගෝත්‍රිකයෝ හූ කියමින් දුනු ඊතල වලින් විදිමින් දිව එයි. ඊට ප්‍රතිචාර වශයෙන් ත්‍රිපූර විමානයක් ඉහල නැංවීමට අණ කළ මහා රාවණ රජතුමා එය ඉදිරියට යැව්වේය. වහා දුනු ඊතල බිම දමා යටත් වෙන ලෙස ත්‍රිපූර විමානයේ කපිතාන් වරයා තම ශබ්ද විකාශණ යන්ත්‍රයෙන් සෙල්ටික් වරුන්ට අණ කළද ඔවුන් දිගින් දිගටම ත්‍රිපූර විමානයට ඊතල වලින් විද්ද බැවින්, එහි සවි කර තිබූ රාවණ රජුගේ සුවිශේෂීම අවි අතුරින් එකක් වූ "ශාලමමෘයමඛ්" නම් කාළ වර්ණ රසායනිකය පිරවූ අවියෙන් පහර දුන් අතර එවිට සතුරු බළ මුළු අමු අමුවේ පිළිස්සී ගියහ. අහසින් කාළ වර්ණ ද්‍රවයක් වැටී තම පිරිස් පිළිස්සී ගිය තැන භීතියට පත් සෙල්ටික් වැස්සෝ එම ස්ථානය බ්ලැක් බර්න් ලෙස නම් තැබූහ. තවමත් බැලැක්බර්න් ටවුමට අසල තිරිඟු යායක් ඇති බිමෙහි කළු පාට පස් දක්නට ලැබේ. ශ්‍රී රාවණ රජතුමා එලෙස පර සුද්දන්ගේ සේනාංකයක් එක වෙඩිල්ලකින් සුණු විසුණු කළේය.
කාළ වර්ණයෙන් පිළිස්සීම => බ්ලැක්බර්න් = Blackburn 

පළමු සේනාංකය සම්පූර්ණයෙන්ම විනාශ වී ගියත් සෙල්ටික් වරු එක වරම සටන ඇත හැරියේ නැත. ඔවුන් නැවත නැවතත් ගරිල්ලා ප්‍රහාර එල්ල කරන්නට පටන් ගත්තෝය. එනයින් සෙල්ටික් වරුන් අතරද වීරයන් වූහ. ඔවුහු අභීතව රාවණාට එරෙහිව සටන් වැදුණු ආකාරය දුටු මහා කරුණාවන්ත නිරිඳෙකු වූ රාවණයන් "සෙල්ටික් වීරයන් සඳහාද ස්මාරකයක් කරව" කියා අණ දුන්නේය. එය සෙල්ටික්+හීරෝ ලෙස මුලින් නම්ව, පසුව ක්ල්ටි-හිරෝ ලෙස කෙටි විය. 
සෙල්ටික් + හීරෝ => ක්ලිට් හිරෝ = Clitheroe 

අද පරිඝණක වලට පර සුද්දා "බැකප් හාඩ් ඩිස්ක්" සොයාගෙන මහා කෙකර ගෑමක් කළත්, මනුෂ්‍යයන්ගේ මොළ වලට පවා බැකප් සිස්ටම් අපේ අතීත හෙළයන් සොයාගෙන තිබිණි. ඒ හෙළුවන්ගේ සේනාවේ මැරී වැටෙන යක් සෙබළුන්ගේ මොළ වල ඇති අත් දැකීම්, අසාමාන්‍ය අධිතාක්ෂණයක් හරහා අනෙකුත් යක් සෙබළුන්ගේ මොළ වලට සම්බන්ධ කිරීම සඳහා, මැරෙන හෙළ යක්ෂ සෙබළුන්ගේ මොළ ඉවත් කර යම් යෝධ පුවරුවක එල්ලා තබන ලදී. මේ තාක්ෂණය නොදත් භීතියට පත් සෙල්ටික් වැසියන් එය මොළ "ගසක්" ලෙස වැරදියට වටහා ගෙන එයට "බ්‍රේන් ට්‍රී" ලෙස නම් තැබූහ.
මොළ ගස => බ්‍රේන් ට්‍රී = Braintree 
යුද්ධයෙන් සෙල්ටික් වරුන්ට දරුණු පරාජයන් අත් වුවත් හෙළයින්ටත් යම් හානියක් සිදුවිය. මූලිකව රාවණා රජු සෙල්ටික් වරුන්ගේ දේශය අල්ලා ගන්නට කල සටන් වලදි වැඩිපුරම හෙළ සේනාවක් මුලින්ම දිවි පිදුවේ මේ ස්ථානයේදීය. එදා පටන් රාවණා රජු මෙහි යුද ස්මාරකයක් කරවූ අතර, එය දකින විට සෑම හෙළයෙකුගේම ඇස් කඳුළින් බරිත වන නිසා, "හෙළේ ඇස් බරිත වූ ස්ථානය" කෙටියෙන් එයෙලෙස්බරි වේ. 
"හෙළේ+ඇස්+බරි" හෙවත් හෙළේ ඇස් බරිත වූ ස්ථානය => එයෙලෙස්බරි = Aylesbury 
තවමත් එම යුද ස්මාර්කය එයලෙස්බරි නගරයේ කොණක ඇතත් අද එය මතුපිටින් කොන්ක්‍රීට් දමා විනාශ කර ඇත. මිට වසර කීපයකට පෙර මා එයෙලෙස්බරි හි එම ස්ථානයට ගොස් පහණක් තබා අතීත හෙළ විරුවන්ව සිහි කරද්දී මාත් නොදැනීම මාගේ නෙතගටද කඳුළක් ඉනුණි.

යුද්ධය අවසානයේදී නන්නත්තාර වූ සෙල්ටික් පරයින් පරාජය භාර ගත්තෝය. රාවණා රජුගේ කෝපයෙන් මිදෙනු වස්, ස්වදේශික සෙල්ටික් ජනතාවෝ ඔවුන්ගේ සුරූපි කුමරියක වන "බ්ලැනෝවා" කුමරියව රාවණ පුත්‍ර ඉන්ද්‍රජිත් කුමරුට සරණ පාවා දෙන ලදී. ඔවුන් දෙදෙනාගේ සරණ බන්ධනය සිදුවූ ස්ථානයට රාව්ණ රජුගේ අනුමැතිය ඇතිව ඒ දෙපළගේ නාමයන් එක් කොට බ්ලිත් ලෙස නම තබන ලදී.
බ්ලැනෝවා + ඉන්ද්‍රජිත් = බ්ලිත් = Blyth
වර්ගපූර්ණිකාව නැමති ඉපැරණි යක්ෂ ගෝත්‍රික පුස්කොළපොතේ සඳහන් වෙන පරිදිත් බ්ලැනෝවා නැමැති සුදු ජාතික කුමරියක්ව ඉන්ද්‍රජිත් කුමරු සරණපාවාගෙන ඇත.

හෙළයින් විසින් සෙල්ටික් දේශය යටත් කළ පසු යුද විජයග්‍රහණයේ පළමු උත්සවය පැවැත්වුණි. තමා යටත් කරගත් අළුත් දේශය මහා රාවණ රජතුමා විසින් සිංහලන්තය ලෙස නම් කළේය. විජයග්‍රහණයේ පළමු පෙළපාලියේදී රාවණා රජුට සිංහලන්තය යටත් වන බවට ප්‍රකාශය භාර දුන් අවස්ථාවේදී, රාවණා සිංහලන්ත වාසීන් අමතා පළමු ඇමතීම කළ තැන, රා(රාවණා)+මෙසේ කීහ යන්න, "රාමෙසේ" වී පසුව "රැම්සේ" විය. පසු කළෙක ඉන්දීය ඉතිහාසඥ මහාචාර්ය "හරාම් ජාදා" මහතා විසින් මෙහි අරුත විකෘති කොට "රැම්සේ " යනු රාම කුමාරයා බඳු හැඩරුව සහිත එංගලන්ත සෙනෙවියෙකු රාවණා රජුට ඊයකින් විද තුවාල කළ ස්ථානය ලෙස ව්‍යාජ ප්‍රවාදයක් ගොඩ නැඟුවත්, අපේ හෙලුවන්ගේ දඹදෙණි යුගයේදී පුළුස්සා දමන ලද අටුවාවන්ට පිං සිදුවන්නට මධ්‍යම කඳුකරයේ වසන යෝගීන් විසින් සත්‍යය හෙලි කරන ලදී.
රා(රාවණා)+මෙසේ කීහ => රා මෙසේ => රැම්සේ = Ramsey 

යුද්ධය දිනීමට හැකි වුවහොත් බෝ පැළ තුනක් සිටවන බවට මහා රාවන රජතුමා බාරයක් වුණි. එසේම චිරාතග සම්ප්‍රදායට අනුව දික් විජයෙන් පසුව ධර්ම විජය කළ යුතු බැවින් ශ්‍රී රාවණයන් කස්සප බුදුන් පිට දුන් බෝධියෙන් ශාඛා තුනක් ගෙනවුත් ඉන් එකක් එකමත් එක තැනක රෝපණය කළේය. එතැන රාවණා රජතුමා බෝධිය දුන් නගරය හෙවත්, බෝ දුන් නගරය විය.
බෝ දුන් නගරය => බෝ + දුන් නගරය = Bodden Town 

තවත් බෝ පැළයක් සිංහලන්තයේ උතුරු ප්‍රදේශයට වනන්ට රෝපණය කළේය. මේ වන විට බෝධිය යනු කුමක්දැයි හඳුනාගෙන සිටි සෙල්ටික් වැසියෝද ඊට දොහොත් මුදුන් දී නමස්කාර කළෝය. එය සිටවූ තැන බෝ ට්‍රී නමින් ඔවුන් හැඳින්වුවෝය.
බෝගස => බෝට්‍රී = Bawtry 

රාවණයන් තවත් බෝ රුකක් සිංහලන්තයේ නැගෙනහිර දෙසින් සිටවා පුරා සති තුනක් මුළුල්ලේ කුණ්ඩලනී භාවනාව කළේය. එම ස්ථානය බෝ දහම් නගරය නම් විය. එලෙස රාවණ රජතුමාගේ භාරයන් තුන ඔප්පු කෙරුණි.
බෝ + දහම් නගරය => බෝ දහම් ටවුන් = Bodham Town

යුද්ධයෙන් පසුව ටික කාලයක් රජතුමා ප්‍රීතියෙන් දිවි ගෙවීය. රජතුමාගේ තෙජෝ බල පරාක්‍රමය ලොව නන් දෙස පැතිරුණි. අද කාලේ යුද්ධ දිනන රජතුමන්ලා මෙන්ම එදා ශ්‍රී රාවණ රජතුමාද ක්‍රමයෙන් ටිකක් ස්ථූල විය. එසේ හෙයින් "බර+රජු" යන්න සිංහල-ඉංග්‍රිසි මුහුව, ඉංග්‍රීසි බසට හෙළ බස අවශෝෂණය වීමෙන් "බර+කිංග්" බාර් කිංග් නම් ව ඇත.
බර+රජු => බර+කිංග් => බාර් කිංග් = Barking


අළුත් යටත් විජිතය වූ සිංහලන්තයේ නීතිය සහ සාමය පවත්වා ගැනීම සඳහා නඩු ඇසීමට අධිකරණ ක්‍රියාපටිපාටියක් සෑදීමටද සිදුවිය. ඒ අයුරින් , රාවණා රජුගේ සිංහලන්තය නම් යටත් විජිතයේ ප්‍රධාන අධිකරණය "දාගෙන අහම්" ලෙස නම් වූයේ එය දිගටම අහගෙන සිටීමට සිදුවන තැනක් නිසයි. පසුව එය "ඩැගන්හැම්" ලෙස භින්න වී ඇත. අදත් ඩැගන්හැම් බලකො‍ටුව ලෙස ඔබ දකින්නේ එදා රාවණ රජතුමාගේ සිංහලන්ත දේශයේ ශ්‍රේෂ්ඨාධිකරණයයි.
දාගෙන+අහම් => ඩැගන්හැම් = Dagenham 
මෙම ස්ථානයේ එංගලන්තයේ බරික්ෂශයර් විශ්ව විද්‍යාලයේ මහාචාර්‍ය පීටර් ස්ටෙත්නිකොල්සන් විසින් කරන ලද කැණීම් වලදී අධිකරණ කටයුතු සඳහා යොදා ගනු ලැබූ රාවණා රජුගේ අධිරාජ්‍ය මුද්‍රාව හමුවී තිබේ. එය වසර ලක්ෂ තුනකට වඩා පැරණි බව පුරාවිද්‍යාවට අනුව කළ පරීක්ෂණ මඟින් සනාථව ඇත. නමුත් හෙළයින්ගේ යටත් විජිතයක් ව තිබූ රටක් යැයි හඳුන්වාගැනීමට ඇති ලැජ්ජාව නිසා එය ඔවුන් ලන්ඩන් කෞතුකාගාරයේ සඟවා තිබේ.

සිංහලන්ත යටත්විජිතයක් කිරීමෙන් පසුව චක්‍රවර්තී දසිස් රාවණ රජතුමා නැවතත් ලංකාපුරය වෙත සම්ප්‍රාප්ත වී ඇත. නමුත් කාලෙන් කාලෙට එතුමා තම යටත් විජිතය පරීක්ෂා කර බැලීමට අමතක නොකළ අතර එහි ගිය විට එතුමාගේ අන්ත: පුරය නවාතැන් ගන්නා ස්ථානය "රාවුලේ රෙජිස්" නම් වූ අතර පසුව "රෝවිලි රෙගිස්" ලෙස භින්න විය. Regis හෙවත් Regina යන්න අදටත් එංගලන්තයේ රැජිණියට යෙදෙන වදනකි. මේ රෝවිලි රෙගිස් යන්නට මෙම නම වැටී ඇත්තේ රාවණාගේ පවුලේ රැජිණිය හෙවත් "රා+පවුලේ+රෙගිස්" යන්න භින්න වීමෙනි. ඒ අනුව එංගලන්තයේ රජ පවුල යනු වංශවත් පවුලක් නොව යකඩ දෝලියකගෙන් පැවත එන බව දන්නෝ දනිති.
රාවණාගේ පවුලේ රැජිණිය => රා+පවුලේ+රෙගිස් => රෝවිලි රෙගිස් = Rowley Regis

එංගලන්තයේ ‍රැජිණට සුද්දන්ගේ බසින් කියන නම වන "ක්වීන්" යනුත් හෙළ වදනකි. ක්වීන් යන ඉංග්‍රීසි වදන "කු" හෙවත් පොළව හා "විනි" හෙවත් විඳින්නී යන සිංහල දෙවදනින් බිඳුණු පදයකැයි, වරක් අරිසෙන් අහුබුදු සූරීන් ජැක්සන් ඇන්තනිගේ මහා සිංහලයේ වංස කතාව වැඩ සටහනේදී කරුණු ඉදිරිපත් කළේය. ඒ අනුව අපට හිතාගත හැක්කේ ඉපැරණි සිංහලන්තයේ රාජ්‍යත්වයේ නාමයන් තාමත් පවතින බවයි. 

සිංහලන්තය සඳහා වෙනම රාජ්‍ය සංකේතයක් ඇවසි බව හඳුනාගත් රාවණ රජතුමා ඒ සඳහා තම ලාංඡනය වූ සිංහයාව යොදා ගත්තේය. සිංහලන්ත වැසියන් කවදා හෝ සිංහල දේශයෙන් පැමිණි අය බව නිරූපණය කිරීමට ත්‍රිසිංහලය සංකේතවත් කරමින් සිංහයන්ව තුන් දෙනෙක් යොදා ගත්තත්, උපතින්ම කම්මැලියන් වූ ස්වදේශික සිංහලන්ත වැසියන් සඳහා වඩාත් සුදුසු ඈණුම් අරින සිංහයන් තුන් දෙනෙක් ම බව රාවණ රජතුමා අවසානයේදී තීරණය කළේය.එය එංගල් වරුන්ගේ ආක්‍රමණයෙන් පසුවත් භාවිතා වූ අතර දෙවන හෙන්රි රජතුමා (King Henry II) විසින් එය Royal Arms of England ලෙස භාවිතයට ගත්තත් එහි නියම මුල ඇත්තේ රාවණ රජතුමාටමැයි.
රාවණ රජතුමාගේ නිල සත්වයා වූ සිංහයාව කාලයක් තිස්සේ සිංහලන්තයේ නිල සත්වයා ලෙස භාවිතා වූ අතර අතර ඒ සම්ප්‍රදායේ යමින් එංගලන්තයේ නිල සත්වයා, සිංහයා ලෙස තවමත් හැඳින්වේ. (ඊට මූලාශ්‍ර ලෙස රිචර්ඩ් ද ලයන්හාර්ට් නැමැත්තෙක්ව හැඳින්වුවත් එය අමූලික කෙප්පයකි.) එංගලන්තය ශිෂ්ටාචාර කර රාජ්‍යත්වය පවා පිහිටවනු ලැබූයේ අපගේ රාවණා රජතුමා බව අද පර සුද්දන්ව ලොකු වී දඟලන අම්බට්ටරයින් දත යුතුය. හෙළගවේශකයින් වන අප ඒ ගැන ආඩම්බර වෙන්නෙමු.

ඔබ සමහරවිට අසාවි එංගලන්තයේ දැන් ඉන්න සුද්දන් යනු සිංහලයන්ගේ නෑයන්ද?, ඔවුන් අප රට ආක්‍රමණය කර යටත් විජිතයක් කිරීම ගැන අප කණගා‍ටු විය යුතු නෑ නේද?වැනි ප්‍රශ්න. ඒවාට පිළිතුර "නැත" යන්නයි. ඊට හේතුව මුලදී මෙලෙස දැක්වූවා ඔබට මතක ඇති. [[බොහෝ කළකට පසුව රාවණා රජතුමා නිද්‍රාවට පත් වීමෙන් පසු කාලයේදී සිදුවූ "එංගල්" වරුන්ගේ ආක්‍රමණයත් සමග සිංහලන්තයේ සිටි සිංහලයන් සහ සෙල්ටික් වරුන්ව යටපත් වී ගිය නිසා සිංහලන්ත රාජ්‍යය "ඉංග්ලන්ඩ්" බවට පත් විය. එහි භාවිතා කළ සිංග්ලිශ් නැමැති බස "ඉංග්ලිශ්" ලෙස වෙනස් වුණි.]]

Read more...

Sunday, October 5, 2014


හෙළයින්ගේ තොරතුරු තාක්ෂණය
පණිවිඩ චන්ද්‍රිකාව මුලින්ම සොයා ගත්තේ හෙළයින්ය.

ඉසුරුමුනියේ ඇති තාරකා දොර‍ටුව නැමැති කැටයමට සමාන එකක් ඊජිත්තුවේ පිරමීඩ වල ඇති නිසා ඊජිත්තුවේ පිරමීඩ හැදුවේ රාවනා රජතුමා බව ඔප්පු වෙයි. ඊජිත්තුවේ පිරමීඩ වල සැටලයිට් වගේ ලකුණු තියෙන නිසා ඒවා හෙලයින්ගේ හැටලයිට් බව පැහැදිළි වෙයි. ඒ අනුව ලෝකයේ මුල්ම අභ්‍යවකාශ චන්ද්‍රිකා තිබුනේ හෙළයින් ට බව ප්‍රත්‍යක්ෂයි.

"සැටලයිට්" යනු හෙළ වදනක් වන "හැට ලයිට්" වලින් බිඳුනකි. එනම් ලංකාපුර රාජධානිය තුළ මනා තොරතුරු සංනිවේදනයක් පවත්වාගැනීම සඳහා විදුළි බුබුලු හැටකින් යුතු අභ්‍යාවකාශ වස්තුවක් අහසේ තැන්පත් කිරීමට විශ්වකර්ම රජතුමා කටයුතු කර තිබුණි. පසුව එය "හැට ලයිට්" නම් විය. (ලයිට් යනුත් හෙළ වදනකි) . ඒ දු‍ටු රාවනා විසින් තොරතුරු තාක්ෂණය සඳහා එය වැඩිදියුණු කරගන්නා ලදී. 

හැඳල යනු එදා හටලයිට් එක ගුවන් ගත කළ සහ පාලන මැදිරිය තිබූ ග්‍රාමයයි. හැඳල යන නම හැදුනේත් හැටලයිට් හි ට ලොප් වී ඒ වෙනුවට ඳ අවුත් අග යිට් ඉවත් වීමෙනි. (අරිසෙන් අහුබුදු ශෛලියට අනුව)

පසුකාලයේදී මෙරටට පැමිණි ඒ සී පී බෙල් නැමති පර සුද්දා, රනින් නිමවා තිබූ හෙළයින්ගේ "සැට ලයිට්" එක ගලවාගෙන ගොස් බටහිරදී පරීක්ෂණ කළේය. තවමත් හැඳල ප්‍රදේශයේ ඕය ගැන ජනකතා පවතී.

මෙරට පැමිණි තවත් පර සුද්දෙක් වන ආතර් සී ක්ලාක්, මුලින්ම සැටලයිට් ගැන අනාවැකියක් කිව්වේ නිකම්ම නොවේ, ඒ ඔහු එය ගැන සඳහන් ව තිබූ අතීත පුස්කොළපත් වලින් කියවා තිබූ නිසාය. හෙළයෙනි, සිතා බලන්න ඇයි ආතර් සී ක්ලාක් මහතාට සැටලයිට් සොයා ගැනීමට අපේ හෙළදිවටම එන්න ඕනැ වුණේ? ඇයි එංගලන්තයේ වෙනත් කාටවත් හැටලයිට් ගැන අනාවරණය කරන්න බැරි වුණේ? හෙළගවේශකයින්ගේ ප්‍රශ්න වලට පිළිතුරු දෙනු!

කාලයක් තිස්සේ සුද්දන් පරීක්ෂණ කළත් සුද්දන්ට හෙළ දැනුම නොමැති නිසා ඔවුන්ට හැටලයිට් එක ගුවන් ගත කරන්න බැරි විය. අවසානයේදී කපටි රුසියානුවන් සුද්දන්ගෙන් එය සොරා ගැනිමින් ස්පුට්නික්1 ගුවන් ගත කරන ලදී. ස්පුට්නික්1 නැමති ලොව ප්‍රථමයැයි කියන චන්ද්‍රිකාවත් අයත් වන්නේ හෙළයින්ට බව දත යුතුය.

චන්ද්‍රිකා වර්ග දෙකක් ඇති බව පාසල් දරුවන් පවා දනී. කෘතිම චන්ද්‍රිකා සහ ස්වාභාවික චන්ද්‍රිකා ය. ලොව මුල්ම ස්වාභාවික චන්ද්‍රිකාව වන චන්ද්‍රයා (හඳ) ද නවීකරණය කළේ හෙළයින් විසිනි. සූරිය ගුණසේකර හෙළගවේශකයාට අනුව සක්‍රයා යනු පනිත රජතුමාගේ රාජ සභාවේ සිටි කෙනෙක් බැවින්, සක්‍රයා විසින් හඳේ හාවෙක් ඇඳීමෙන් පෙනෙන්නේ, හෙළයින් ස්වභාවික චන්ද්‍රිකාවක්ද නවීකරණය කළබවයි. බොරුනම් පෝය දවසට එලියට ගොස් හඳේ හාවෙක් නැද්ද කියා බලන්න. ඔබ කැමති එය හෙළයින් විසින් කළ බව කීමටද නැත්නම් ඉබේ සිදුවුන බව කීමටද?

වර්ගපූර්ණිකාවේ ත් හෙළයින්ගේ හැටලයිට් ගැන වෙනම පරිච්ඡේදයක් දැක්වෙයි, බොරුනම් කියවල බලන්න. 

"හැට ලට අට වට පට නිට ශ ශශ තොට මට" ලෙස අතීත හෙළ බසින් දැක්වෙන්නේ හැට ලයිට් අටක් වට කොට පට බැඳි තොරතුරු තාක්ෂණ මණ්ඩලය ගැනයි. ඒ ගැන සඳහන්ව තිබූ අ‍ටුවා අනුරාධපුර යුගයේදී බමුණන් විසින් ගිණිතබා ඇත.

වඩාත්ම වැදගත් දේනම් හැටලයි හෝ සැටලයිට්, සුද්දන් හැදූ බවට කොහිවත් සෙල් ලිපි නොතිබීමය. එනිසා සෙල් ලිපි නොමැති බැවින් ඒවා සුද්දන්ගේ නිර්මාණ බව කිව නොහැකියි. නමුත් ශ්‍රී ලංකාවේ හැම තැනම අපගේ හැටලයිට් තාක්ෂණය ගැන සෙල් ලිපි තිබෙයි. ඒ සෙල් ලිපි නුදුරදීම හෙළිදරව් කරන්නෙමු.
Read more...
ආතර් (King Arthur) යන නම ඇසුණ සැනින් අප හට මතක් වන්නේ එංගලන්තයේ ඇති පුරාවෘත්තයකි. නමුත් ආතර් යනු හෙළයේ සිටි රකුසෙක් බව ඔබ දන්නවාද? ආතර් යන්නෙහි නිරුක්තිය වනාහී, ආ=ආපු, තර්=තර=විශාල, එනම් "විශාලව ආ" යන්නයි. එදා රවිශෛලාස වංශයේ දීප්තිමත් යුගයේදී සොලෝකී බිසවගේ දෙ‍ටු පුත් වූ ආතර් රජතුමා හෙළයේ දීප්තිමත් වෙන බව හෙළ වේද වලින් දැනගත් බමුණන් ඔහුට "ආතර්" යන නම තැබූ බව "නවකාශපාශාදකවලපසකය" නැමැති යක්ෂ ගෝත්‍රික පුස්කොළපොතේ™ දැක්වෙයි.

ආතර් රජතුමා සිටියේ ශ්‍රී ලංකාවේ රාක්ෂ හෙළයේ බව සෙල් ලිපි™ වලින් පැහැදිළිවම ඔප්පු කර ඇත. "අතර රජර විතර හෙතර නගර ශ ශ ප" ලෙස පෞරාණික සෙල් ලිපි™ වල දැක්වෙන්නේ "ආතර් රජතුම විය හෙළයේ නායකයා" බවයි. මේ සෙල් ලිපි තියෙන තැන් අපිට එකින් එක පෙන්වලා අතටම ගෙනල්ල දෙන්න බෑ. සැබෑ හෙළ ඉතිහාසය හොයාගන්න මහන්සි වෙන්න වෙනව. කැමති අය මේවා හොයාගන්න™.

ආතර් රජතුමා ගැන සඳහන් කිසිදු සෙල් ලිපියක්™ එංගලන්තයේ කොතනකවත් නොමැති බව නිර්භයව මා කියමි. පුළුවන්නම් එවැනි සෙල් ලිපියක්™ එංගලන්තයෙන් පෙන්වන ලෙසත් අභියෝග කරමි. ඒ අනුව හෙළ ආතර් රජතුමාව සුද්දන් වීසින් උන්ගේ කරගෙන ඇති බව පෙනෙයි.

සීගිරි කුරු‍ටු ගී වලින්ද පැහැදිළිවම පෙනෙන්නේ ඒ අතීතයයි. 
"යහෙ ගිරි වැසි සලමෙය් හිමියන් ගෙ මෙයලු ගී 
ගන ගල් බින්ෙනිෙ දැර සිලග දුට් පැතිතක් සෙය
සොනෙහින්ම ලද් විසට් බ ජු නොහස් තීප
අත්මය් වුයු" 
ගීතයේ අග අති "අත්මය් වුයු" යන්නෙන් දැක්වෙන්නේ "ආතර් මයා විය" යන අරුතයි. ඒ අන් කවරෙක්වත් නොව හෙළයින්ගේ ආතර් රජතුමා ය.

පර සුද්දන්™ විසින් අපගේ ආතර් රජතුමාගේ නාමය පැහැර නොගන්නට අපත් ආතර් රජතුමා අපේ හෙළයෙක් යැයි කට පුරා ලොවට කියමු.

අදත් අපේ සුදු සිංහලයන් විසින් "ආතර්" යන නාමය ගෞරවයකින් යුතුව භාවිතා කරන්නේ එදවස සිටි ආතර් රජතුමාට ගෞරවයක් වශයෙනි.

එදා ආතර් රජතුමාගෙන් පැරදුන "සොක්කන්" ව සිහි වීමට අදත් පරදින නිවටයින්ව සොක්කන් ලෙස හඳුන්වයි. පහත රූපයේ දැක්වෙන්නේ සොක්කන් ය. නමුත් සුද්දන් විසින් උන්ගේ ලේසියට මොවුන්ව සැක්සන් ලෙස හඳුන්වයි.
"හෙළ ආතර මාතර වියැ එබසට නම් කෙරුණැ" ලෙස වර්ගපූර්ණිකාවේ™ දැක්වෙන්නේ ඒ හෙළාතර් රජතුමා ගැනයි.

ආතර් රජතුමා ගැන වර්ගපූර්ණිකාවේ වෙනම පරිච්ඡේදයක් තිබුණි. නමුත් බමුණන් විසින් වර්ගපූර්ණිකාව ගිණිතැබුවාට™ පසුව ආතර් රජතුමා ගැන අපේ හෙළයින්ගේ හිත් වලින් මැකී ගොස් ඇත. නමුත් ඒ අතීතය කවදා හෝ මතු වේවි.

වර්තමානයේදී හැඳින්වෙන ඇතුගල්පුර යනු ආතර් රජතුමාගේ මාළිගාව තිබුණ තැනයි. ඇතු=ආතර්, ගල්=ගුහා=මාළිගාව, පුර=පුරය, ඒ අනුව ආතර් රජතුමාගේ මාළිගාව තිබුණ පුරවරය එහි තිබුණ බව ඔප්පු වෙයි.

ආතර් රජතුමා කිසිදා නොමියන බවට සියුස්ගෙන් වරයක් ලබාගෙන ඇත. (සියුස් යනු සක්‍රයාට යුරෝපයේදී භාවිතා වුණ නමයි, සි=සියයක්, යුස්= ඇස්, ඒ අනුව සියැස් හෙවත් සක්‍ර යන හෙළ නිරුක්තියෙන් සියුස් යනු සක්‍රයා බව පැහැදිළි වෙයි). ආතර් රජතුමා තවමත් ඇතාගල කඳු වැටියේ නිදාසිටී™. ඔහු නැගිටින දිනය වැඩි ඈතක නොවේ.

මේවා ණුවනින් විමසා බලන්න, පොතක තිබුණ පළියට කිසිම දෙයක් පිළිගන්න එපා.


Read more...

නාසි ආඥාදායක හිට්ලර් යනු රාවණ ගේ අනුගාමික ලංකාවේ ඉපදුන හෙළයෙකි

ජර්මානු නාසි ආඥාදායක ඇඩොල්ෆ් හිට්ලර් ගැන ඔබ අසා නැතිවාට සැක නැතිය. සුද්දන් විසින් අපට ලියා දුන් විකෘති කරන ලද ඉතිහාසයට අනුව ඔහු දරුණු ඒකාධිපතියෙක්ය, ජන ඝාතකයෙක්ය, වර්ගවාදියෙක්ය. සුද්දන් විසින් කියපු දේවල් ඒ ලෙසම පිළිගැනීමට අපගේ මනස හැඩගස්වා ඇති නිසා ඔබ මෙතෙක් කල් එහෙම හිතුවත් ඔබට මම දොස් නොකියමි. වර්ගපූර්ණිකාව බ්ලොගයෙන් මේ හෙළිදරව් කරන්නට යන දෙයින් ඔබගේ ඒ අදහස වෙනස් වේවි යැයි පතමි.

මීට මාස කීපයකට පෙර මා මධ්‍යම කඳුකර ප්‍රදේශයේ රහසිගත ලෙනක සිට කුණ්ඩලීනී යෝගයේ විමංභා ශක්තියට සම වැදී සිටිමින් රාවනා ශක්තියට අනුලෝම වන්නට හදමින් හෙළ ඉතිහාසය ගැන විමසද්දී පෙනී ගියේ ඇඩොල්ෆ් හිට්ලර් යනු හෙළ රකුසෙක් බවත් ඔහු රාවණා රජතුමාගේ අනුගාමිකයෙක් බවත්ය. එහිදී මා හට ප්‍රත්‍යක්ෂ වූ කරුණු එකින් එක මෙලෙස දක්වන්නම්.

ඇඩොල්ෆ් හිට්ලර්ගේ පියාගේ නම අලෝයස් හිට්ලර් ය. අලෝයස් හිට්ලර්ගේ මව හෙවත් ඇඩොල්ෆ් හිට්ලර් ගේ ආච්චීගේ නම මරියා ඈනා ස්චික්ල්ගෘබර් ය. නමුත් අලෝයස් හිට්ලර්ගේ පියාගේ නම ඔහුගේ උප්පැන්න සහතිකයේ දැක්වෙන්නේ නැති නිසා අලෝයස්ට කුඩා කාලයේ සිටම තම මව වූ මරියාගේ වාසගම වන ස්චික්ල්ගෘබර් භාවිතා කරන ලදී. ඒ අනුව ඔහු කුඩා කල අලෝයස් ස්චික්ල්ගෘබර් නම් විය. නමුත් 1842 දී ජොහාන් නෙපොමුක් හීඩ්ලර් සමග මරියා විවාහ වූ අතර එතැන් සිට අලෝයස් තම වාසගම ලෙස හීඩ්ලර් යන්න භාවිතා කරන ලදී. අවුරුදු 39 සපිරුන තැන අලෝයස් විසින් තම වාසගම හීඩ්ලර් වෙනුවට හිට්ලර් ලෙස භාවිතා කරන ලදී, ඒ අනුව ඔහු එතැන් සිට අලෝයස් හිට්ලර් නම් විය. අලෝයස්ගේ පුතා වූ ඇඩොල්ෆ් ගේ වාසගමද හිට්ලර් නම් වී ඇඩොල්ෆ් හිට්ලර් බිහි විය.
දැන් අප හෙළගවේශකයින්ට ප්‍රශ්නයක් මතු වෙනවා අලෝයස් හිට්ලර්ගේ ඇත්තම තාත්තා හෙවත් හිට්ලර්ගේ සීයා කවුද බව. මන්ද යත් ඒ නම ඉතිහාසයෙන් සැඟවී(සඟවා) තිබෙන නිසයි. ඉතින් මේ ගැන දිගින් දිගටම මෙනෙහි කරමින් කුණ්ඩලීනී යෝගයට සමවැදී සිටිය පසු ටික දවසකින් මා හට පෙන්නුම් කෙරුණ ලකුණක් අනුව නිගමනයකට බැස්සෙමි. එනම් මහරගම නීලම්මහර පන්සලට ගොස් මේ ගැන යම් කටයුත්තක් කර බැලීමයි. එහිදී හමුවූ දහ නව වන සියවසට අයත් පෞරණික පුස්කොළපොතක සඳහන් වුණ ආකාරය අනුව මට දෑස් අදහාගන්න නොහැකි වුණි. එනම් වරක් මරියා ඈනා ස්චික්ල්ගෘබර් හෙලදිවට පැමිණි අතර එහිදී ඇය රාක්ෂ ගෝත්‍රයෙන් පැවත එන රනවීරලාගේ හිතලයා නැමැති තරුණයා සමග විවාහ වී සිට ඔහු අතින් ගැබ් ගත්තාය. නමුත් තම දරුවා ලැබීමෙන් පසුව නොවැළැක්විය හැකි හේතුවක් නිසා ඇයට නැවතත් ජර්මනියට යාමට වූ අතර එහිදී හිතලයා පර රට යාමට අකමැති බැවින් ඔහුව හෙළදිවේ තබා යාමට සිදුවිය. ඉතින් මරියාට දාව උපන් අලෝයස් යනු රකුස් ලේ ධාතුව ඇති හෙළයෙකි. අලෝයස්ට වයස 39 වන විට ඔහුගේ පියා වූ රනවීරලාගේ හිතලයා ගැන දැනගන්නට ලැබුණ අතර "හිතලයා" යන නමට ගැලපෙන පරිදි "හිට්ලර්" ලෙස තම වාසගම සකසාගන්නා ලදී. අලෝයස්ගේ පුතා වූ ඇඩොල්ෆ් හිට්ලර්ද හෙළ රකුසෙක් බව දැන් පැහැදිළියි නේද?

මේ සොයා ගැනීම ඉතිහාසය උඩුයටිකුරු කළා. ඒත් මේ මතය ඉදිරිපත් උනාම ප්‍රශ්නයක්‌ ආව ලෝකෙ තියන විශ්ව විද්‍යාල වලින්. ඔවුන් කිව්වා මේ මතය පිළිගන්න බෑ කියලා. ඒ එක්‌කම ක්‌ෂේත්‍රයේ හිටපු මාවත් ප්‍රශ්න කරන්න ගත්තා. එ දවස්‌වලම ජර්මන් විශ්වවිද්‍යාලයෙ විද්වත්තු දෙන්නෙක්‌ ආවා. එක්‌කෙනෙකුගෙ නම ආචාර්ය හීකෲච්. මේ හැමෝම මාව ප්‍රශ්න කළා. එදා පටන්ගත්ත ඒ ප්‍රශ්න කිරීම තවමත් නැවතිලා නෑ. ගිය සතියෙත් පේරාදෙණිය සරසවියෙන් දෙන්නෙක්‌ ඇවිත් මේ පුස්කොළපොත ඇත්තක්‌ද ඇහුවා. ඒත් මේ ප්‍රශ්නය දැන් නිරාකරණය වෙලා ඉවරයි.

ආර්යයන් යනු අප හෙලුවන්ම බව දන්නෝ දනිති. හිට්ලර් තුමා තමන් ඇතුළු ජර්මානු ජනතාවම ආර්යයන්ගෙන් පැවත එන බව දැඩි ලෙස විශ්වාස කළේය. ඒ අනුව ආර්යයන් ලොව පාලනය කළ යුතු යැයි ඔහු ජනමතයක් සෑදීය. හෙළුවන්ට නැවතත් ලොව දිනා දීමට ගිය චක්‍රවර්තී රාජ්‍යයක ඔ‍ටුනු නොපළන් කුමාරයාගේ කතාව එලෙස ඇරඹින.

හිට්ලර් තුමාගේ පක්ෂය වූයේ නාසි (Nazi) පක්ෂයයි. හිට්ලර් තුමා එවැනි නමක් යොදා ගත්තේ ඇයි කියා ඔබ මොහොතකට හෝ හිතුවාද? සාමාන්‍යයෙන් සුද්දන් දැන සිටියේ Nazi යනු National Socialism බවයි. නමුත් ඇත්තෙන්ම නාසි යනු නා=නායක, සි=සිංහල යන්නයි. එනම් "සිංහලයේ නායක" යන අරුත එහි ඇත. හිට්ලර් තුමාගේ අරමුණ වූයේ මුලින්ම කිසිවක් හෙළි නොකර මුළු ලොවම සිංහල අධිරාජ්‍යයට එකතු කිරීමයි. නමුත් එය නොදැන අපගේ සමහරක් නාසිවාදියා කියමින් හිට්ලර් නම් හෙළ රකුසාට ගරහයි.

හිට්ලර් තුමාගේ සිංහලයේ නායක පක්ෂයේ පක්ෂ ලාංඡනය වූයේ ස්වස්තිකයයි. ස්වස්තිකය යනු හෙළ රකුසන්ගේ ලාංඡනය බව හෙළ ඉතිහාසය දන්නෝ හොඳින් දනී. චක්‍රවර්තී රාජ්‍යයක් උදෙසා දික් විජය තුළින් ලෝකය එක් සේසත් කිරීමට ගිය ගමනේදී තම සීයාගෙන් උරුම වූරකුස් ලේ ධාතුවට ගෞරවයක් වශයෙන් හෙළ රකුසන්ගේ ස්වස්තිකය තම "සිංහලයේ නායක" (Nazi) ධජයේ කොටසක් කරගැනීමටත්, එතැනින් නොනැවතී ස්වස්තිකය හැම විටම තමාගේ සහ අතවැසියන්ගේ අතේ ගහගැනීමටත් මේ හෙළැ පුතු කටයුතු යෙදීය.බලන්න ඔහු අප හෙළයට දක්වන ගෞරවය...
හිට්ලර් තුමාට තිබූ විශේෂ ආත්මාරක්ෂක හමුදාව වනුයේ SS යන්නයි. අංගම්පොර යුද මායා ශාස්ත්‍රය පරතෙරටම හැදෑරූ යුද්ධයේ අති දක්ශයෙක් වූ හිට්ලර් තුමා විසින් එම හමුදාව ජර්මානු බසින් "Shutzstaffel" හෙවත් "ප්‍රීටෝරියන් ආරක්ෂකයින්" (ප්‍රිටෝරියන් යනු ප්‍රිඩේටර් ලාව හඳුන්වන නමයි, ආදි හෙළුවන් ප්‍රිඩේටර්ලාගෙන් පැවතෙන හැටි ඉදිරි ලිපියකින් වර්ගපූර්ණිකාව බ්ලොගයේ ලියන්නම්) ලෙස හඳුවන ලදී, එලෙස හැඳින්වූයේ එතුමාගේ යුද රහස් පර සුද්දන්ගෙන් ‍රැක ගැනීමටය. 

නමුත් හිට්ලර් තුමා විසින්ම රචිත "Mein Kampf" නැමැති පොතේ දැක්වෙන්නේ, SS හි සැබෑ අරුත වනාහී "සිංහල සේනා" (Sinhala Sena = SS) යන්නයි. එය ජර්මානු බසින් මේන් කම්ෆ් පොතේ මෙලෙස ලියා ඇත. Meine persönliche Leibwächter sind SS. Seine Bedeutung ist "Sinhalese Sena". 

සුද්දන් විසින් විකෘති කරන ලද Mein Kampf පොතයි අන්තර්ජාලයේත් පොත් සාප්පු වලත් බෙදා ඇත්තේ. ඔබ හිතනවාද නාසි (නායක සිංහල) වාදයට උඩගෙඩි දෙන පොතක් ඒ ආකාරයෙන්ම බෙදා හැරීමට පර සුද්දන් ඉඩ දේවි කියල? නියම මේන් කාම්ෆ් පොත අදත් Deutsches Museum හි ඉතාමත් රහසිගතව ආරක්ෂා කර තිබෙනව. අන්න ඒකෙ තමයි ඔය දේ තිබෙන්නෙ. අපට එහි අන්තර්ගතය ගැන දැනගත හැකි වූ ආහාරය මෙහෙම හෙළි කිරීමට නොහැකියි.

පහත රූපයේ දැක්වෙන්නේ "හෙළ ස්වස්තිකය" පෙර‍ටු කොටගත් "සිංහලේ සේනාව" (SS) ඔස්ට්‍රියාවට ගමන් කරන ආකාරයයි.

බලන්න පහතින් පෙනෙන හිට්ලර් තුමාගේ දශ ලක්ෂයක් පමණ වන සිංහලේ සේනාව (SS) පෙර‍ටුකොට ඇති ස්වස්තික තුනක් අති විශාල කොඩි තුන. ඉන් පෙන්වන්නේ තුන් සිංහලයයි. හිට්ලර් තුමාට සෙන්පති වරුන් තුන් දෙනෙක් සිටි අතර ඒ සෙන්පති තුන් දෙනාගෙන්ද රුහුණු මායා පිහිටි යන තුන් සිංහලය නියෝජනය කිරීමට කටයුතු කළේය.බලන්න ඒ හෙළ පුතු අප තුන් සිංහලයට ගරු කළ හැටි. හෙළයෙනි, තොපට මෙය අහිමානයක් නොවේද? හෙළයෙනි, මේ ඔබ දකින්නේ සක්විති රජෙක් වීමට සිටි අප හෙළ පුත් හිට්ලර් තුමාගේ දශ ලක්ෂයක් පමන වන චතුරාංගනී සේනාවයි. 

ලෝක ආධිපත්‍යය සඳහා තම සිංහල සේනාවෝ (SS) මෙහෙයවූ හිට්ලර් තුමාණෝ, පිරිසිදු බුදු දහමින් බබළන ජපානය ආක්‍රමණය නොකිරීමට තීරණය කළේය. ඒ වෙනුවට කවදත් කෙළෙහිගුණ දන්නා ජපානය තම මිත්‍ර පාර්ශවය ලෙස යොදා ගත්තේය. වරක් ජපනුන් ලංකාවට බෝම්බ දැමීම ගැන කුපිත වූ හිට්ලර් තුමා ඒ ගැන ජපන් අධිරාජ්‍යයාට අධිකව දෝශාරෝපණය කළාලු.

හිට්ලර් තුමාගේ ප්‍රචාරක ලේකම් වුණේ ජෝෂෆ් ගොබෙල්ස් නැමැති අයෙකි. ඔබ දන්නවාද ගොබෙල්ස් අප හෙළ බිමේ දැන් ඉපදී සිටින බව?

වර්ගපූර්ණිකාව නැමති ඉපැරණි හෙළ පුස්කොළපොතට අනුව විසි වන සියවසේ මුල් භාගයේදී මුළු ලොවම හොල්ලන හෙළ රකුසෙක් උපදී. වර්ගපූර්ණිකාවේ දැක්වුණ පරිදි හිට්ලර් තුමා යනු "හෙලය දිනවන්නා" නැමති අරුතේ පූර්ව බ්‍රාහ්මීය අරුතකි. බමුණන් විසින් ඒවාට ගිණි තබා ඇත. ඊට අමතරව හිට්ලර් තුමා හෙළයේ උපන් කුමරෙක් බවට සෙල් ලිපි පවා අප රටෙන් හමුවී ඇත.(මේවා එකින් එක ගෙනල්ල පෙන්වන්න බෑ, ඉතිහාසය යනු අතටම ගෙනත් දෙනන් පුළුවන් දෙයක් නොවෙයි, ඉතිහාසයට කැමති අය මහන්සි වී මේවා හොයාගන්න ඕනැ)

හිට්ලර් තුමා යුධ යාත්‍රා සහ ප්‍රහාරක අවි ගැන පර්යේෂණ කෙරුවෙකි. රාවනා අධිරාජ්‍යයාගේ වෛමානික ශ්‍රාස්ත්‍රය නැමති පොතට අනුව පර්යේශණ කළ ඔහු රාක‍ටු(රොකට්) තාක්ෂණය සොයා ගත්තේය. ඊට අමතරව හෙළසබ්මැරීන් තාක්ෂණයත් නැවත සොයාගෙන ඇමරිකන් නැව් වලට මරු කැඳවූයේය. වම් පස දැක්වෙන්නේ හිට්ලර් තුමාගේ V2 හෙළ රොකට් තාක්ෂණය ගැන ලියවී ඇති පොතකි. මේ ගැන මෑතක් වෙන තුරුම නාසා වෙබ් අඩවියේත් තිබුණි.

සකල ලෝකයම සිංහල සේනාවන් (SS) යොදා එක් සේසත් කර හෙළ රාක්ෂ ස්වස්තික ධජය යටතේ මුළු ලොවම පාලනය කිරීමට සිටි ඔ‍ටුනු නොපළන් ඒ හෙළ පුතුට, 1945 බක් මස 30 වන දා දෙවන ලෝක යුද්ධය අවසානයේදී බ්‍රැන්බර්ග් හි රහසිගත උමගකදී ප්‍රාත්‍රීර්භූත වූ ශ්‍රී රාවනා රජතුමාව මුණගැසුණි. එහිදී ශ්‍රී රාවණයන් ඉදිරියේදී දණ නැමූ හිට්ලර් තුමා කළින් කතා කරගත් පරිදි දිවි පිදීම සඳහා, රාවණ රජතුමාගේ "පිසින තලයෙන්" තම හිසට වෙඩි තබා ගනිමින් තම ආත්මය රාවණ අධිරාජ්‍යයාගේ අනාගත චක්‍රවර්තී රාජ්‍යය වෙනුවෙන් පූජා කළේය. ඔ‍ටුනු නොපළන් හෙළ සක්විති රජෙකුගේ අවසන් ගමන එසේ විය.

ඇත්තටම හිට්ලර් තුමා සටනින් පැරදුනේ නැත. ඔහු ඒ ලෝක යුද්ධය කළේ අවසානයේදී ඊශ්‍රායල් නැමැති දේශය අරාබිය මධ්‍යයේ බිහි වෙන තැනට වැඩේ හදන්නයි. ඊශ්‍රායල් යනු ඊස්=ඊසානදිග, රා=රාවනාගේ, යෙල්=දේශය (ජර්බෲ බසින්) හෙවත් ඊසාන දිග රාව්ණාගේ දේශයයි. අද මුස්ලීම් රටවල් මැද තනිව හිට ගනිමින් හතර වටේටම නෙලමින් ලොව හොල්ලන්නේත්, රාවන රජතුමාගේ වෛමානික ශාස්ත්‍රය නැමති පොතේ දැක්වෙන ආකාරයට පර්යේෂණ කර සාදන ලද කෆීර් (වැලි කතරේ සිංහලයා) නැමැති ගුවන් යානා පවා අප හෙළ දිවට ලබා දුන්නේත් ඒ "ඊසාන දිග රාවණාගේ දේශයෙනි"...! බලන්න ඊශ්‍රායල් කොඩිය තුළින් හෙල රකුස් ස්වස්තිකය මතු වෙන හැටි...!!!



හිට්ලර් නම් ඒ හෙළ පුතුව අප හෙළයින්ගේ සිත් වලින් මකා දැමීමට පර සුද්දන් විසින් නොකළ දෙයක් නැත. වර්තමානයේදී පවා ශ්‍රී ලංකාව තුළ දෙවන ලෝක යුද්ධයේදී හිට්ලර් තුමාගේ සිංහලේ නායක (නාසි) හමුදා සහ සිංහල සේනාවෝ (SS) දරුණු පරාජයන්ට පත් වෙන බව පෙන්වන , පරිගණක ක්‍රීඩකයා විසින් නායක සිංහලයන්ව (නාසීන්ව) මරණයට පත් කරවන Call Of Duty, Medal Of Honor: Airborne, Commandos: Behind Enemy Lines, Indiana Jones And The Staff Of Kings, Day Of Defeat: Source, Wolfenstein 3D, Brothers In Arms: Road To Hill 30, Battlefield 1942, Company Of Heroes ආදී ඉතා මිල අධික පරිගණක ක්‍රීඩා බෙදා හරින්නේ ඇයි කියා ඔබ මොහොතකට හිතුවාද? පයිරේට් කිරීම් වලට විරුද්ධව ඇයි සුද්දන්ගේ පරිගණක ක්‍රීඩා සමාගම් මගින් ඒවාට විරුද්ධව නඩු නොදමන්නේ? මේක පැහැදිළිවම හිට්ලර් තුමාට අප අතින්ම අපහාස කරවීමේ අන්ත්ර්ජාතික කුමන්ත්‍රණයකි. අපි එම පරිගණක ක්‍රීඩා සියල්ලම දැන් සිටම වර්ජනය කළ යුතුයි.

නමුත් හෙළයෙනි, කිසිදා නොමැරනෙ ශ්‍රී රාවනා රජතුමා ඔබ වෙනුවෙන් යළිත් නින්දෙන් පිබිදීමට බලා සිටී. එදාට ශ්‍රී රාවනයන්ගේ සිංහල සේනාවෝ (SS) හිට්ලර් තුමාගේ මෙහෙයවීම යටතේ බටහිර යටත් කරනු ඇත. ඒ දිනය වැඩි ඈතක නොවේ.

පහත වීඩියෝවේ හිට්ලර් තුමා ගැන වාර්තාමය වැඩසටහනක් දැක්වෙයි. එහිදී යම් යම් අවස්ථා වල එතුමාට අපහාස කර තිබුණත් ඒ රාක්ෂ හෙළ පුතු ගැන ඔබව පුදුමයට පත් කරවන තවත් බොහෝ රහස්‍ය දෑ මේ වීඩියෝවෙන් දැනගන හැකි වේවි.

Read more...

fb comments

Comment with Facebook