details

Email:madhawavish@gmail.com Phone:0714760652 Best Regards... to follow this blog by sms for free, type follow madhawablg and send to 40404

Friday, October 10, 2014

බුද්ධානුස්සති භාවනාව




බුදුගුණ අරමුණු කරගෙන කරනු ලබන බුද්ධානුස්සති භාවනාවබුදුරජාණන් වහන්සේ තුන්ලෝ තලයේ උත්තරීතරම පුද්ගලයා ලෙස හඳුනාගෙන එම උතුම් පුද්ගලයාගේ ජීවිතය පරමාදර්ශය ලෙස සලකා උන් වහන්සේ අනුගමනය කරමින් සිදුකරන බුද්ධානුස්සතිය පසුගිය සති දෙක තුළ පල කරන ලද ලිපි වලින් පැහැදිළි කරන ලදි.
එම භාවනාව අඛණ්ඩව ප්‍රගුණ කරමින් සිටින විට ඔබට එක් අවස්ථාවකදි බුදුරජාණන්වහන්සේ පුදුගලයෙකු පමණක් නොව එය අභිබවා ගිය බුද්ධත්වය නමැති තුන්ලෝ තලයේ උත්තරීතරම ප්‍රඥාවේ දියුණු තත්වයක් බව අවබෝධ කර ගනි. ඒ අනුව එම උත්තරීතර බුද්ධත්වයේ ගුණ ස්වභාවයන් පිළිබඳව යෝගියාගේ මනස යොමුවේ. ඉන් පසු බුද්ධත්වයේ අසමසම ගුණස්කන්ධය අවබෝධ කර ගනිමින් භාවනා වඩන්නට යෝගියා පෙළඹේ. එහිදි සිදු කරනු ලබන භාවනා අභ්‍යාසයන් පහතින් සඳහන් කෙරේ.

භාවනා අභ්‍යාසය

බුද්ධානුස්සති භාවනාව අප කාටත් පහසු භාවනාවකි. මෙහිදී සිදු වන්නේ බුදු ගුණ මෙනෙහි කිරීම ය. ඒවා නව අරහාදි බුදු ගුණ වශයෙන් හැඳින්වෙයි. මෙම බුදු ගුණ නවය එක විට ගෙන භාවනා කරනු නොලැබේ. අරහං ගුණයට අයත් වාක්‍යය හොඳින් ප්‍රගුණ කරගත් පසු එයට ම සම්බන්ධ කරගෙන සම්මා සම්බුද්ධ ගුණයට අයත් වාක්‍යය ද ප්‍රගුණ කළ යුතු ය. එසේ එකිනෙක යා කරගනිමින් බුදු ගුණ නවය ම ප්‍රගුණ කරගැනීමෙන් යහපත් ප්‍රතිඵල උදා කරගත හැකි ය. මනසිකාර භාවනාවට යොමු විය යුත්තේ බුදු ගුණ පද නවය ම නිවැරදි ව නිරවුල් ව පැහැදිලි ව මෙනෙහි කිරීමට හුරු වූ කල්හි ම විය යුතු ය.
පළමු කොට බුද්ධාලම්බන ප්‍රීතිය හිතට කාවද්දාගැනීමේ පහසුව සඳහා කුඩා ප්‍රමාණයේ හෝ බුදු රුවක් ඉදිරියෙන් තබාගැනීම යෝග්‍ය වේ. බුදු පිළිම වහන්සේට මල් පහන් සුවඳ දුම් පුදා තම භාවනා අසුනෙහි පහසු ඉරියව්වකින් වාඩි වී ‘බුද්ධාදි උතුමන් අනුගමනය කරන මම කුමන මාර බලයකින් වුව ද නොසැලෙමි’ යන දැඩි අදිටනින් යුතු ව භාවනාවට සූදානම් විය යුතු ය.
අනතුරු ව ත්‍රිවිධ රත්නයට මාගේ ජීවිතය පූජා කරමි. ආචාර්ය-උපාධ්‍යායන්ට මාගේ ජීවිතය පූජා කරමි. මේ උතුම් පිළිවෙතින් ඒකාන්තයෙන් ම ජරා මරණාදි දුක්වලින් මිදෙමි’ යනුවෙන් ප්‍රාර්ථනා කළ යුතු ය. එසේ ම ස්වල්ප වේලාවක් තමන් ඇතුළු සියලු සත්ත්වයන්ට ම මෙත් වැඩිය යුතු ය. භාවනා කිරීම ආරම්භ කිරීමට ප්‍රථම මෙම පූර්ව කෘත්‍යයන් කිරීමට අමතක නොකළ යුතු ය.
පළමුකොට ඔබ ඉදිරියේ තැන්පත් කරගත් බුදුරුව දෙස හොඳින් බලන්න. දෙනෙත් වසාගෙන සිටින විටත් ඔබ ඉදිරියෙහි බුදුරුව වැඩ සිටින බව පෙනෙනතෙක් ඇස ඇර බලමින් ඇස වසා බලමින් බුදු ගුණ මෙනෙහි කරන්න.
ඔබ දෑස වසාගත් පසු ඔබ ඉදිරියෙහි ප්‍රදර්ශනය වන බුදු රජාණන් වහන්සේගේ රූපය දෙස බලමින් ‘ඉතිපිසෝ භගවා අරහං’ ආදි බුදු ගුණ ගාථාව බුදු බැතිය හා ප්‍රසාදය ඇති කරගනිමින් සිහින් හඬින් සජ්ඣායනා කරන්න. වාඩි වී සිටින ඉරියව්ව අපහසු වේ නම් සක්මන් ඉරියව්වෙන් භාවනා කරන්න. එසේ ම මෙම අභ්‍යාසය කරන කාලය ද අනුක්‍රමයෙන් වැඩි කරගන්න. මෙසේ උත්සාහයෙන් භාවනා කරන විට ඔබ තුළ යම් වෙනසක් දකින්නට ලැබෙනු ඇත. එනම් බුදු ගුණ නවය ඔබට හොඳින් ප්‍රගුණ වනු ඇත. බුදු ගුණ කෙරෙහි ඔබේ ගත සිත වඩාත් භක්තිමත් වනු ඇත. ඔබ තුළ දරදඬු ඕලාරික ගති ගුණ ඇත් නම් ඒවා යටපත් වී, සිත කය මැනවින් තැන්පත් වනු ඇත. බුදු ගුණ කෙරෙහි ම ඔබේ සිහිය පිහිටනු ඇත.
එතැන් සිට පදවිභජන වශයෙන් බුදුගුණ භාවනාව ආරම්භ කළ යුතු ය. එය සිදු කරන්නේ මේ ආකාරයට ය:
ඒ බුදු රජාණන් වහන්සේ අරහත් වන සේක. ඒ බුදු රජාණන් වහන්සේ සම්මා සම්බුදු වන සේක. ඒ බුදු රජාණන් වහන්සේ විජ්ජාචරණ සම්පන්න වන සේක. ඒ බුදු රජාණන් වහන්සේ සුගත වන සේක. ඒ බුදු රජාණන් වහන්සේ ලෝකවිදූ වන සේක. ඒ බුදු රජාණන් වහන්සේ අනුත්තර පුරිසදම්ම වන සේක. ඒ බුදු රජාණන් වහන්සේ සත්තා දේවමනුස්සානං වන සේක. ඒ බුදු රජාණන් වහන්සේ බුද්ධ වන සේක. ඒ බුදු රජාණන් වහන්සේ භගවා වන සේක.
මෙසේ මනා සිහියෙන් යුතු ව ඉරියව් පවත්වමින් භාවනා කරන්න. උත්සාහයෙන් භාවනා කරන විට ඔබේ සිත තුළ තවදුරටත් පරිවර්තනයක්-වෙනසක් දක්නට ලැබෙනු ඇත. ඔබේ සිත ලෝභ ද්වේෂ වැනි පාප සිතිවිලිවලින් බැහැර වනු ඇත.
තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධා භක්තිය බුද්ධ ගෞරවය ප්‍රීතිය කුශලච්ඡන්දය වීර්යය කයෙහි සිතෙහි සැහැල්ලු බව යන කරුණු ඔබ තුළින් දැකිය හැකි වනු ඇත.
මෙම ආනිසංස ලැබූ පසු තවදුරටත් බුද්ධානුස්සති භාවනාව කරගෙන යෑමට අදහස් කරන ඔබ පදාර්ථවිභජන අභ්‍යාසය ආරම්භ කළ යුතු වෙයි. එනම් ඒ ඒ ගුණයට අයත් බුදු ගුණ විස්තරාත්මක වශයෙන් මෙනෙහි කිරීම යි. මෙම භාවනා අභ්‍යාසය වැඩි කාලයක් කළ යුතු වෙයි:
“ඒ භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ කෙලෙසුන් දුරු කළ හෙයින් අරහත් වන සේක. ඒ භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ විශිෂ්ට ඤාණයෙන් යුතු ධර්මයක් දක්නා ලද හෙයින් සම්මා සම්බුද්ධ වන සේක. ත්‍රිවිද්‍යාවෙන් සමන්විත බැවින් විජ්ජාචරණ සම්පන්න වන සේක.
සුන්දර වචන ඇති හෙයින් සුගත වන සේක. චතුරාර්ය සත්‍යය අවබෝධ කරගත් බැවින් ලෝකවිදූ වන සේක. දමනය කළ යුතු පුරුෂයන් දමනය කළ බැවින් පුරිසදම්මසාරථි වන සේක. දෙව් මිනිසුන්ට අනුශාසනා කළ බැවින් සත්ථා දේවමනුස්සානං වන සේක. සියල්ල අවබෝධ කරගත් බැවින් බුද්ධ වන සේක. පුණ්‍යවන්ත බැවින් භගවා වන සේක.
බුද්ධානුස්සති භාවනාව වැඩීම නිසා ඔබට මේ ආත්මයේදී ම පහත දැක්වෙන ආනිශංස ලබා ගත හැකි වෙයි. එනම්, ඔබ විසින් කරනු ලබන බුදු ගුණ භාවනාව තව තවත් දියුණුවට පත් වීම, භාවනාව කිරීම පිළිබඳ ඔබගේ නුවණ තව තවත් දියුණුවට පත් වීම, භාවනා ප්‍රීතිය බහුල වීම, මෙම ජීවිත කාලය තුළ විඳින්නට සිදුවන විවිධ දුක් පීඩා ඉවසාගෙන ඒවාට මුහුණදීමට හැකි වීම බුදු රජාණන් වහන්සේ සමඟ වාසය කරමි’යි කියන හැඟීම ඇති වීම, බුදු රජාණන් වහන්සේ අරමුණු කරගෙන ම සිත පැවතීම, කෙලෙස් ගිනි සන්සිඳී සිත කය සැහැල්ලු වීම, ධ්‍යානයට පූර්වභාග ප්‍රීතිය ඇති වීම, ධ්‍යානයට පූර්වභාග සැපය ඇති වීම, අංගසම්පූර්ණ උපචාරධ්‍යානය ලැබීම යන අනුසස් ලැබෙන බව සඳහන් වෙයි.
මෙම ආනිශංස සියල්ල එක විට ම නොලැබිය හැකි ය. සිහි නුවණින් දිරිමත් ව භාවනා කරන විට ක්‍රමයෙන් සියලු ආනිශංසයෝ ම පහළ වෙති. බුද්ධානුස්සති භාවනාවේ රැඳී සිටින යෝගියාගේ සිත බුද්ධ භූමියට ම නැමී තිබේ. යම් කිසි පාප කර්මයක් කිරීමට සිතිවිල්ලක් පහළ වූ සැණින් බුදු රජාණන් වහන්සේ තමන් ඉදිරිපිට වැඩ සිටින බැව් හැඟී යයි. ඒ නිසා ම ඔහුට හෝ ඇයට පව් කිරීමට ලජ්ජා භය ඇති වෙයි. මෙම ආත්මයේ ම මාර්ග ඵල නොලැබුණ හොත් ඒකාන්තයෙන් ම මරණින් මතු සතර අපායෙහි නොවැටී සුගතිගාමී බවට පත් වෙයි.
එබැවින් මහානුභාව සම්පන්න බුද්ධානුස්සති භාවනාව නුවණැති ඔබත් පුරුදු පුහුණු වී, අප්‍රමාද ව වැඩීමට අධිෂ්ඨාන කරගන්න.

තෙරුවන් සරණයි!

No comments:

Post a Comment

fb comments

Comment with Facebook