details

Email:madhawavish@gmail.com Phone:0714760652 Best Regards... to follow this blog by sms for free, type follow madhawablg and send to 40404

Sunday, October 5, 2014

පුෂ්පක විමානය හෙවත් දඬුමොණරය


ඉහත දැක්වෙන්නේ චක්‍රවර්තී දසිස් රාවණ අධිරාජ්‍යයාගේ "පුෂ්පක විමානය" හෙවත් දඬුමොණරය පිළිබඳව මධ්‍යම කඳුකරයේ භාවනා කරමින් සිටින ධ්‍යානලාභී තාපසතුමන්ලා සහ රාවණ ගවේශකයින් විසින් කරන ලද හෙළ විද්‍යාත්මක පරීක්ෂණ වලින් අනතුරුව 99%ක් නිවැරදිව අඳින ලද පින්තූරයකි. එහි තාක්ෂණය පිළිබඳ විස්තර අංක පිළිවෙළට විමසා බලමු.

[1] මෙමගින් දැක්වෙන්නේ දඬුමොණරය බිමට බෑම සඳහා භාවිතා කරන පාදයයි. වර්තමාන හෙළිකොප්ටරයේ (හෙළ කොප්පරාවේ) පාදත් මෙලෙස බැවින් හෙළිකොප්ටර් හැදුනේත් හෙළකොප්පරා නැමති දඬුමොණර වර්ගයෙන් බව පැහැදිළි වෙයි. දඬුමොණරය බිමට බෑමේදී එම පාද යටට රෝද මතු කිරීමේ හැකියාවක් තිබී ඇති බව, ගුවන්යානා තාක්ෂණය ගැන ඉගැන්වෙන වෛමානිකශාස්ත්‍රය නැමති හෙළ පුස්කොළපොතේ දැක්වේ. (එම පුස්කොළපොත බමුණන් විසින් ඉන්දියාවට පැහැරගෙන ගොස් ඇති බව සූරිය ගුණසේකර මහතා පවසයි). එසේම දඬුමොණරය බිමට බාද්දී එම පාදයන් ඇත් කඳ ලිහිණියෙක්ගේ ආකාරයකට පරිවර්තනය වේ.පසුගිය ලිපියක දැක්වූ පහත කොටස ඔබට මතකද?
අද එංගලන්තය ලෙස හැඳින්වෙන බිම ආක්‍රමණය පුද්ගලිකවම මෙහෙයවීමට යුද්ධයේ හසළ දක්ෂයෙක් වූ රාවණ රජතුමා පැමිණියේය. එතුමා පැමිණියේ රසදිය+න්‍යෂ්ඨික තාක්ෂණය භාවිතාවෙන් ඉගිලෙන පුෂ්පකය නැමති යෝධ කුරුල්ලෙකුගේ හැඩය ඇති දඬුමොණරයෙනි. රාවණයන්ගේ යෝධ දඬු මොණර යන්ත්‍රය මහා පක්ෂි ස්වරූපය දැකීමෙන් එදා එහි සිටි සෙල්ටික් වැසියෝ ඇත්කඳලිහිණි සංකල්පයක් හදාගත්තේය. ඒ අනුව ක්‍රේවන් යනු ඇත් කඳ ලිහිණියා නම් යෝධ පක්ෂියාට කියන නාමයකි. දඬුමොණරයේ පාද තබා ගොඩ බෑ තැන ක්‍රේවන් ආම්ස් නම් විය.

ඇත් කඳ ලිහිණියාගේ පාද => ක්‍රේවන් ආම්ස් => Craven Arms 

උගේ පා තැබූ ස්ථානය ලෙස ක්‍රේවන් ආම්ස් නැමැති ස්ථානය ප්‍රකටව තිබුණත්, මෙහි සැබෑව දන්නේ හෙලුවන් කීප දෙනෙකුම පමණි. "ලධන්නක නොබ්බේ" තඹ සන්නසෙන් මෙම පක්ෂි ස්වරූපය මෙපරිද්දෙන් විග්‍රහ කෙරේ

"රාවා ශස්ථ පාද ආකාශ සල සුමට්ට - ප්‍රාක ගිරු රූප - අප්‍රාක නර සීහ"

මින් අදහස් කෙරෙන්නේ රාවණා ආකාශයේ ගෙන ගිය යන්ත්‍රයේ ඉහළ කොටස ගිරවෙකුගේ හැඩයෙන් යුතු අතර, පහත කොටස නර සීහ නම් සත්වයාගේ හැඩයෙන් යුතු වන්නේය යන්නය. "ලධන්නක නොබ්බේ" තඹ සන්නසට එවැනි හෙළු නොවන නමක් වැටී ඇත්තේ එය වසර සිය ගණනක් "නොබ්බේ" නැමැති මැලේ ජාතිකයන් විසින් සුරැකිව තබා ගත් නිසාය.

[2] මෙහි ඇත්තේ බහුකාර්ය තුවක්කුවකි. එමගින් ආකාර 7 කට ප්‍රහාර එල්ල කිරීමට හැකිලු. එනිසා "සත්තප්‍රහාර ශාලමමෘයමඛ්" නමින් එම තුවක්කුව හැඳින්වෙයි. එම ආකාරයන් නම්,
i. ලේසර් ප්‍රහාර එල්ල කිරීම.
ii. අග්නිසර (ප්ලාස්මා ගන්) සහ නාගසර තාක්ෂණයන්ට අනුව යබර බෝම්බ දැමීම.
iii. අකුණු පහරවල් එල්ල කිරීම (එය ක්‍රියා කරන ආකාරය මේඝනාද කුමරා පමණක් දනී.
iv. 50 cal වර්ගයේ මැෂින් වෙඩි තැබීම.
[ඉතිරි තුන මතක නෑ]

"ශාලමමෘයමඛ්" නැමති අවිය පුෂ්පකයේ මෙන්ම ත්‍රිපූර විමානයේත් සවි කළ හැකි අතර එය රාවණා රජතුමා පාවිච්චි කෙරවූ ස්ථානයක් අදටත් "බ්ලැක්බර්න්" ලෙස හැඳින්වෙන අයුරු ඔබට මා කළින් පැවසුවා මතකද? කෙසේ ද යත්,

දෙපසම යුධ නලාවන් වැයුණි. සෙල්ටික් ගෝත්‍රිකයෝ හූ කියමින් දුනු ඊතල වලින් විදිමින් දිව එයි. ඊට ප්‍රතිචාර වශයෙන් ත්‍රිපූර විමානයක් ඉහල නැංවීමට අණ කළ මහා රාවණ රජතුමා එය ඉදිරියට යැව්වේය. වහා දුනු ඊතල බිම දමා යටත් වෙන ලෙස ත්‍රිපූර විමානයේ කපිතාන් වරයා තම ශබ්ද විකාශණ යන්ත්‍රයෙන් සෙල්ටික් වරුන්ට අණ කළද ඔවුන් දිගින් දිගටම ත්‍රිපූර විමානයට ඊතල වලින් විද්ද බැවින්, එහි සවි කර තිබූ රාවණ රජුගේ සුවිශේෂීම අවි අතුරින් එකක් වූ "ශාලමමෘයමඛ්" නම් කාළ වර්ණ රසායනිකය පිරවූ අවියෙන් පහර දුන් අතර එවිට සතුරු බළ මුළු අමු අමුවේ පිළිස්සී ගියහ. අහසින් කාළ වර්ණ ද්‍රවයක් වැටී තම පිරිස් පිළිස්සී ගිය තැන භීතියට පත් සෙල්ටික් වැස්සෝ එම ස්ථානය බ්ලැක් බර්න් ලෙස නම් තැබූහ. තවමත් බැලැක්බර්න් ටවුමට අසල තිරිඟු යායක් ඇති බිමෙහි කළු පාට පස් දක්නට ලැබේ. ශ්‍රී රාවණ රජතුමා එලෙස පර සුද්දන්ගේ සේනාංකයක් එක වෙඩිල්ලකින් සුණු විසුණු කළේය.
කාළ වර්ණයෙන් පිළිස්සීම => බ්ලැක්බර්න් = Blackburn

[3] මෙය දඬුමොණරය ගොඩ බෑ විට හැරවීම සඳහා භාවිතා කරන රොදයයි. ඊට අමතරව එමගින් දඬුමොණරයේ සමබරතාවය ‍රැක ගැනීමත් සිදුකරයි.

[4 සහ 5] මේවා රසදිය තාක්ෂණයෙන් ක්‍රියා කරන ප්‍රතිගුරුත්ව රොකට්‍ටුය. Mercury Vortex Engine ලෙස එය හැඳින්වෙන අතර ඒ සඳහා අවශ්‍ය රසදිය ලබාගත්තේ මධ්‍යම පළාතේ ඇති "ඉවුරවල" නැමැති ගම්මානයේ තිබූ රසදිය නිධියකින්ය.
ඉ=ඉගිලීමට,
වු= වුවමනා,
ර=රසදිය,
වල=වල
ලෙස පද නිරුක්ති කළ විට එහි ඉතිහාසය මතු වෙයි. (ඔය ආකාරයටම වා=වායු, රිය=රථ, පොළ=තො‍ටුපොළ යන පද නිරුක්තිය අනුව වාරියපොළ ග්‍රාමයේ හෙළයින්ගේ දඬුමොණර ගුවන්තො‍ටුපොළක් තිබූ බව අරිසෙන් අහුබුදුවන් පවසයි)

[6] මගින් දැක්වෙන්නේ පුෂ්පක විමානයේ ඉගිලීමට අවශ්‍ය අත් ත‍ටුය. ඒවා සාදා ඇත්තේ ටයිටේනියම් නැමති ලෝහයෙන්ය. රාවණ රජතුමා වීස්න් ටයිටේනියම් ලෝකය පරසක්වලින් ආනයනය කළ බව වර්ගපූර්ණිකාව නැමැති පුස්කොළපොතේ දැක්වෙයි. රාවණ යුගයේදී ටයිටේනියම් ලෝකය ගුවන් යානා හැදීමට වඩා ටක හැදීමට යොදා ගත්තේ එයට ගැසීමෙන් ලැබෙන අධික ශබ්දය හේතුවෙනි. එනිසා එය "ටයිටේනියම්" නමින් හැඳින්වීමේ අරුත වූයේ,
ට= ටකය
යිටේ=ය+ඉ= යථාලෙස ඉදිකිරීම
ටේ=ට+ඒ= ට ඒකාකාරීව
නි=නිෂ්පාදනයට,
යම්=යම්තම්.
"ටකය යථාලෙස ඉදිකිරීම ට ඒකාකාරීව නිෂ්පාදනයට යම්තම්". බලන්න එක හෙළ වචනයක ගැබ් වී ඇති විශාල අරුත. රාවණ රජතුමාගේ කාලයේ හෙළයෝ කෙතරම් දියුණු වන්නට ඇත්ද?

[7] දිශාමාපකය ලෙස මෙය හැඳින්වෙයි. දඬුමොණරයේ දිශාව නිර්ණය කිරීමට හෙවත් එය ගුවනේදී හැරවීම සඳහා මෙය භාවිතා කරයි. එය සාදා ඇත්තේ ජීවම් කරල ලද මඩු වලිගයක් පදම් කිරීමෙන් බව වර්ගපූර්ණිකාවේ දැක්වෙයි. එවිට එය ටයිටේනියම් ලෝහය මෙන්ම ශක්තිමත් වන අතර වඩාත් සැහැල්ලු තාවයක් දක්වයි.

[8] මෙමගින් දැක්වෙන්නේ රාවණ ධජයයි. වර්තමානේයේ ඇති කිසිදු ප්‍රහාරක ගුවන් යානයක මෙලෙස කොඩියක් සවි කිරීමට තරම් තාක්ෂණ දියුණුවක් නොමැත. යම් හෙයකින් F35 වැනි ගුවන් යානයක පසුපස කොඩියක් සවි කළහොත් එය ගුවන් ගත වෙත්ම දැවී යයි. නමුත් රාවණ රජතුමාගේ දඬුමොණරය කොතරම් වේගයකින් ගියත් රාවණ ධජය නොදැවෙන්නේ එම කොඩිය සුවිශේෂී රාවණ තාක්ෂණයකින් "හඩු කර" ඇති බැවිනි. වර්තමානයේදීත් ඒ දැනුම අපගේ පැ‍රැන්නෝ ළඟ යම්තම් තිබෙන අතර, ඔවුන් සමහර රෙදි දු‍ටු විට රාවණා තාක්ෂණයෙන් හඩු කර අතැයි සිතා මේක ගිණි තිබ්බත් පත්තු වෙන්නේ නෑ යැයි කියන්නේ නිකමට නොවේ.

[9] ගියරය ලෙස මෙය හඳුන්වයි. ගි=ගිනියම, ය=යවන, ර=රසදිය, ය=යටලීය. ඒ අනුව රසදිය දහනය වීම පාලනය කිරීමට මෙය භාවිතා කළ බව සිතාගැනීමට පුළුවන. එසේම දඬුමොණරයේ දිශාව වෙනස් කිරීමටත් මෙය භාවිතා කළත් බොහෝ විට දිශාව වෙනස් කරන්නේ මනසෙන් ලබා දෙන විධානයන්ට අනුවය.

[10] මේ සිටින්නේ අන් කිසිවෙක් නොව ශ්‍රීර් රාවණ අධිරාජ්‍යයායි. හිස් දහයෙන් එතුමාව නිරූපනය වෙයි. එකල දඬුමොණර ගුවන්ගත කිරිමේ අති දක්ෂතම නැවියා වුයේත් රාවණයන්ම නිසා දඬුමොණරයක් ඇඳීමේදී රාවණ රජතුමාවම ඇඳීම සිරිතක් විය. එතුමා වාඩි වී සිටින්නේ අදෘෂ්‍යමාන අසුනකය. යම් හෙයකින් දඬුමොණරයේ කාර්මික දෝෂයක් නිසා ආසනය පිටින්ම පැනසට (පසුකාලයේදී මෙය "පැරෂූට්" ලෙස හඳුන්වන ලදී) එකකින් පැනීමට සිදුවුවහොත් එම ආසනය පොළොවට වැ‍ටුණ විටදී කාටවත් හඳුනාගැනීමට නොහැකිය. නියමුවා වටේටත් අදෘෂ්‍යමාන දියමන්ති ආවරණයක් තිබෙන අතර ඒවා ආළෝකයේ වේගයෙන් ගියත් උණු වන්නේ නැත.

[11] මේ දැක්වෙන්නේ දඬුමොණරයේ හිසයි. එය මොණරෙක්ගේ මෙන්ම ගිරවෙක්ගේ හැඩයත් ගෙන ඇත. නමුත් පොදු ලක්ෂණය වූයේ ඒවාට උල් හොටක් තිබීමයි. වර්තමාන ගුවන් යානා වල ඉදිරිපසත් හොටක් මෙන් උල් වූයේ මෙම දඬුමොණර වල තාක්ෂණය යොදා ගත් නිසාවෙනි.
[12] මෙමගින් දැක්වෙන්නේ දඬුමොණරයේ බඳ කොටසයි. මෙය නැවක් ආකාරයට හදා ඇත. Airship යන නම අදත් වාශ්ප ගුවන් යානා වලට භාවිතා කරන්නේ රාවණා රජතුමාගේ දඬුමොණරයේ තිබූ තාක්ෂණයම ඒවාටත් යොදාගත් නිසාය.

[13] මෙමගින් දැක්වෙන්නේ "දඬු" ය. දඬුමොණරයට ඒ නම ලැබුණේත් දඬු වලින් අත් ත‍ටු අලංකාර කර ඇති බැවිනි. එසේම මේ සෑම දණ්ඩක් අගටම තුඩක් ඇති අතර ඒ සියල්ලටම "රත්වැල්" (රත්වැල් ලබාගත් ස්ථානයක් අදටත් Rothwel ලෙස හැඳින්වෙයි) නැමැති මාරාන්තික විශ යොදා ඇත. එනිසා ගුවන් යානයේ අවි වල උණ්ඩ අවසාන වුවද ඒ විශ යෙදූ හෙළි වලින් ඇණ සතුරාව මරා දැමීමට හැකියාව තිබේ.

අදටත් දඬුමොණරය සබරගමුවේ ඇති බොල්තුඹේ දේවාලයේ ඇත. එම දේවාලයේ අභ්‍යන්තරයේ රාවණා රථය හා රාවණා රජුගේ කොඩිය තැන්පත් කර තිබේ. දේවාලයේ තියෙන සාම්ප්‍රදායික චාරිත්‍රවලට අනුව එය කිසිවෙකුටත් නොපෙන්වන බවත් ඉංග්‍රීසි පාලන කාලේ සබරගමුවේ ආදායම් පරීක්ෂක නිලධාරියා දේවාලය පරීක්ෂා කරන්න ඇවිත් දේවාලයේ ඇති සියළුම භාණ්ඩ එළියට ගත් බවත් දේවාලය ඇතුළත තියෙන රාවණා රථය හා කොඩිය ඉවතට ගන්න ගිය බවත් එසේ කළොත් විපතක් වෙනවා කියලා කපු මහත්තයා සුදු නිලධාරියාට දන්වා ඇත. නමුත් ඒවා නොතකා එම භාණ්ඩ එළියට ගත් බවත් ඒ අවස්ථාවේදීම හෙණ හතක් පුපුරා ගිහින් එක දිගට දවස් 7 ක් වැහැලා මේ සුදු නිලධාරියාට ආපසු යන්න බැරිව ඇතෙක් ගෙන්වලා ඇතා පිටින් ආපසු ගිය බවත් ඒ ඇතාගෙත් කරවටක් වෙනකම් වතුරෙන් ඒ ප්‍රදේශය යටවෙලා තිබුණු බව 100% ක් විශ්වාසවනත අයුරින් ජනප්‍රවාද වල දැක්වෙයි.
     බොල්තුඹේ සමන් දේවාලයේ වැඩසිටින මාළිගාව එයට සම්බන්ධ වෙන දික් ගෙය

  

No comments:

Post a Comment

fb comments

Comment with Facebook