details

Email:madhawavish@gmail.com Phone:0714760652 Best Regards... to follow this blog by sms for free, type follow madhawablg and send to 40404

Friday, October 10, 2014

බුද්ධානුස්සති භාවනාව




බුදුගුණ අරමුණු කරගෙන කරනු ලබන බුද්ධානුස්සති භාවනාවබුදුරජාණන් වහන්සේ තුන්ලෝ තලයේ උත්තරීතරම පුද්ගලයා ලෙස හඳුනාගෙන එම උතුම් පුද්ගලයාගේ ජීවිතය පරමාදර්ශය ලෙස සලකා උන් වහන්සේ අනුගමනය කරමින් සිදුකරන බුද්ධානුස්සතිය පසුගිය සති දෙක තුළ පල කරන ලද ලිපි වලින් පැහැදිළි කරන ලදි.
එම භාවනාව අඛණ්ඩව ප්‍රගුණ කරමින් සිටින විට ඔබට එක් අවස්ථාවකදි බුදුරජාණන්වහන්සේ පුදුගලයෙකු පමණක් නොව එය අභිබවා ගිය බුද්ධත්වය නමැති තුන්ලෝ තලයේ උත්තරීතරම ප්‍රඥාවේ දියුණු තත්වයක් බව අවබෝධ කර ගනි. ඒ අනුව එම උත්තරීතර බුද්ධත්වයේ ගුණ ස්වභාවයන් පිළිබඳව යෝගියාගේ මනස යොමුවේ. ඉන් පසු බුද්ධත්වයේ අසමසම ගුණස්කන්ධය අවබෝධ කර ගනිමින් භාවනා වඩන්නට යෝගියා පෙළඹේ. එහිදි සිදු කරනු ලබන භාවනා අභ්‍යාසයන් පහතින් සඳහන් කෙරේ.

භාවනා අභ්‍යාසය

බුද්ධානුස්සති භාවනාව අප කාටත් පහසු භාවනාවකි. මෙහිදී සිදු වන්නේ බුදු ගුණ මෙනෙහි කිරීම ය. ඒවා නව අරහාදි බුදු ගුණ වශයෙන් හැඳින්වෙයි. මෙම බුදු ගුණ නවය එක විට ගෙන භාවනා කරනු නොලැබේ. අරහං ගුණයට අයත් වාක්‍යය හොඳින් ප්‍රගුණ කරගත් පසු එයට ම සම්බන්ධ කරගෙන සම්මා සම්බුද්ධ ගුණයට අයත් වාක්‍යය ද ප්‍රගුණ කළ යුතු ය. එසේ එකිනෙක යා කරගනිමින් බුදු ගුණ නවය ම ප්‍රගුණ කරගැනීමෙන් යහපත් ප්‍රතිඵල උදා කරගත හැකි ය. මනසිකාර භාවනාවට යොමු විය යුත්තේ බුදු ගුණ පද නවය ම නිවැරදි ව නිරවුල් ව පැහැදිලි ව මෙනෙහි කිරීමට හුරු වූ කල්හි ම විය යුතු ය.
පළමු කොට බුද්ධාලම්බන ප්‍රීතිය හිතට කාවද්දාගැනීමේ පහසුව සඳහා කුඩා ප්‍රමාණයේ හෝ බුදු රුවක් ඉදිරියෙන් තබාගැනීම යෝග්‍ය වේ. බුදු පිළිම වහන්සේට මල් පහන් සුවඳ දුම් පුදා තම භාවනා අසුනෙහි පහසු ඉරියව්වකින් වාඩි වී ‘බුද්ධාදි උතුමන් අනුගමනය කරන මම කුමන මාර බලයකින් වුව ද නොසැලෙමි’ යන දැඩි අදිටනින් යුතු ව භාවනාවට සූදානම් විය යුතු ය.
අනතුරු ව ත්‍රිවිධ රත්නයට මාගේ ජීවිතය පූජා කරමි. ආචාර්ය-උපාධ්‍යායන්ට මාගේ ජීවිතය පූජා කරමි. මේ උතුම් පිළිවෙතින් ඒකාන්තයෙන් ම ජරා මරණාදි දුක්වලින් මිදෙමි’ යනුවෙන් ප්‍රාර්ථනා කළ යුතු ය. එසේ ම ස්වල්ප වේලාවක් තමන් ඇතුළු සියලු සත්ත්වයන්ට ම මෙත් වැඩිය යුතු ය. භාවනා කිරීම ආරම්භ කිරීමට ප්‍රථම මෙම පූර්ව කෘත්‍යයන් කිරීමට අමතක නොකළ යුතු ය.
පළමුකොට ඔබ ඉදිරියේ තැන්පත් කරගත් බුදුරුව දෙස හොඳින් බලන්න. දෙනෙත් වසාගෙන සිටින විටත් ඔබ ඉදිරියෙහි බුදුරුව වැඩ සිටින බව පෙනෙනතෙක් ඇස ඇර බලමින් ඇස වසා බලමින් බුදු ගුණ මෙනෙහි කරන්න.
ඔබ දෑස වසාගත් පසු ඔබ ඉදිරියෙහි ප්‍රදර්ශනය වන බුදු රජාණන් වහන්සේගේ රූපය දෙස බලමින් ‘ඉතිපිසෝ භගවා අරහං’ ආදි බුදු ගුණ ගාථාව බුදු බැතිය හා ප්‍රසාදය ඇති කරගනිමින් සිහින් හඬින් සජ්ඣායනා කරන්න. වාඩි වී සිටින ඉරියව්ව අපහසු වේ නම් සක්මන් ඉරියව්වෙන් භාවනා කරන්න. එසේ ම මෙම අභ්‍යාසය කරන කාලය ද අනුක්‍රමයෙන් වැඩි කරගන්න. මෙසේ උත්සාහයෙන් භාවනා කරන විට ඔබ තුළ යම් වෙනසක් දකින්නට ලැබෙනු ඇත. එනම් බුදු ගුණ නවය ඔබට හොඳින් ප්‍රගුණ වනු ඇත. බුදු ගුණ කෙරෙහි ඔබේ ගත සිත වඩාත් භක්තිමත් වනු ඇත. ඔබ තුළ දරදඬු ඕලාරික ගති ගුණ ඇත් නම් ඒවා යටපත් වී, සිත කය මැනවින් තැන්පත් වනු ඇත. බුදු ගුණ කෙරෙහි ම ඔබේ සිහිය පිහිටනු ඇත.
එතැන් සිට පදවිභජන වශයෙන් බුදුගුණ භාවනාව ආරම්භ කළ යුතු ය. එය සිදු කරන්නේ මේ ආකාරයට ය:
ඒ බුදු රජාණන් වහන්සේ අරහත් වන සේක. ඒ බුදු රජාණන් වහන්සේ සම්මා සම්බුදු වන සේක. ඒ බුදු රජාණන් වහන්සේ විජ්ජාචරණ සම්පන්න වන සේක. ඒ බුදු රජාණන් වහන්සේ සුගත වන සේක. ඒ බුදු රජාණන් වහන්සේ ලෝකවිදූ වන සේක. ඒ බුදු රජාණන් වහන්සේ අනුත්තර පුරිසදම්ම වන සේක. ඒ බුදු රජාණන් වහන්සේ සත්තා දේවමනුස්සානං වන සේක. ඒ බුදු රජාණන් වහන්සේ බුද්ධ වන සේක. ඒ බුදු රජාණන් වහන්සේ භගවා වන සේක.
මෙසේ මනා සිහියෙන් යුතු ව ඉරියව් පවත්වමින් භාවනා කරන්න. උත්සාහයෙන් භාවනා කරන විට ඔබේ සිත තුළ තවදුරටත් පරිවර්තනයක්-වෙනසක් දක්නට ලැබෙනු ඇත. ඔබේ සිත ලෝභ ද්වේෂ වැනි පාප සිතිවිලිවලින් බැහැර වනු ඇත.
තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධා භක්තිය බුද්ධ ගෞරවය ප්‍රීතිය කුශලච්ඡන්දය වීර්යය කයෙහි සිතෙහි සැහැල්ලු බව යන කරුණු ඔබ තුළින් දැකිය හැකි වනු ඇත.
මෙම ආනිසංස ලැබූ පසු තවදුරටත් බුද්ධානුස්සති භාවනාව කරගෙන යෑමට අදහස් කරන ඔබ පදාර්ථවිභජන අභ්‍යාසය ආරම්භ කළ යුතු වෙයි. එනම් ඒ ඒ ගුණයට අයත් බුදු ගුණ විස්තරාත්මක වශයෙන් මෙනෙහි කිරීම යි. මෙම භාවනා අභ්‍යාසය වැඩි කාලයක් කළ යුතු වෙයි:
“ඒ භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ කෙලෙසුන් දුරු කළ හෙයින් අරහත් වන සේක. ඒ භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ විශිෂ්ට ඤාණයෙන් යුතු ධර්මයක් දක්නා ලද හෙයින් සම්මා සම්බුද්ධ වන සේක. ත්‍රිවිද්‍යාවෙන් සමන්විත බැවින් විජ්ජාචරණ සම්පන්න වන සේක.
සුන්දර වචන ඇති හෙයින් සුගත වන සේක. චතුරාර්ය සත්‍යය අවබෝධ කරගත් බැවින් ලෝකවිදූ වන සේක. දමනය කළ යුතු පුරුෂයන් දමනය කළ බැවින් පුරිසදම්මසාරථි වන සේක. දෙව් මිනිසුන්ට අනුශාසනා කළ බැවින් සත්ථා දේවමනුස්සානං වන සේක. සියල්ල අවබෝධ කරගත් බැවින් බුද්ධ වන සේක. පුණ්‍යවන්ත බැවින් භගවා වන සේක.
බුද්ධානුස්සති භාවනාව වැඩීම නිසා ඔබට මේ ආත්මයේදී ම පහත දැක්වෙන ආනිශංස ලබා ගත හැකි වෙයි. එනම්, ඔබ විසින් කරනු ලබන බුදු ගුණ භාවනාව තව තවත් දියුණුවට පත් වීම, භාවනාව කිරීම පිළිබඳ ඔබගේ නුවණ තව තවත් දියුණුවට පත් වීම, භාවනා ප්‍රීතිය බහුල වීම, මෙම ජීවිත කාලය තුළ විඳින්නට සිදුවන විවිධ දුක් පීඩා ඉවසාගෙන ඒවාට මුහුණදීමට හැකි වීම බුදු රජාණන් වහන්සේ සමඟ වාසය කරමි’යි කියන හැඟීම ඇති වීම, බුදු රජාණන් වහන්සේ අරමුණු කරගෙන ම සිත පැවතීම, කෙලෙස් ගිනි සන්සිඳී සිත කය සැහැල්ලු වීම, ධ්‍යානයට පූර්වභාග ප්‍රීතිය ඇති වීම, ධ්‍යානයට පූර්වභාග සැපය ඇති වීම, අංගසම්පූර්ණ උපචාරධ්‍යානය ලැබීම යන අනුසස් ලැබෙන බව සඳහන් වෙයි.
මෙම ආනිශංස සියල්ල එක විට ම නොලැබිය හැකි ය. සිහි නුවණින් දිරිමත් ව භාවනා කරන විට ක්‍රමයෙන් සියලු ආනිශංසයෝ ම පහළ වෙති. බුද්ධානුස්සති භාවනාවේ රැඳී සිටින යෝගියාගේ සිත බුද්ධ භූමියට ම නැමී තිබේ. යම් කිසි පාප කර්මයක් කිරීමට සිතිවිල්ලක් පහළ වූ සැණින් බුදු රජාණන් වහන්සේ තමන් ඉදිරිපිට වැඩ සිටින බැව් හැඟී යයි. ඒ නිසා ම ඔහුට හෝ ඇයට පව් කිරීමට ලජ්ජා භය ඇති වෙයි. මෙම ආත්මයේ ම මාර්ග ඵල නොලැබුණ හොත් ඒකාන්තයෙන් ම මරණින් මතු සතර අපායෙහි නොවැටී සුගතිගාමී බවට පත් වෙයි.
එබැවින් මහානුභාව සම්පන්න බුද්ධානුස්සති භාවනාව නුවණැති ඔබත් පුරුදු පුහුණු වී, අප්‍රමාද ව වැඩීමට අධිෂ්ඨාන කරගන්න.

තෙරුවන් සරණයි!
Read more...

අනිත්‍ය භාවනාව



අනිච්ච භාවනාවේ අමා සුවය ඔබත් අත් විදින්න

අනන්ත වූ දුක් දොම්නස් වලින් යුතුව වේදනා විදිනා ජනයා අතරින් ඒ වේදනාවට ආයුෂ සපයනු ලබන්නේ තමන්ම යැයි කියා දන්නාවුන් සිටිනුයේ ඉතාමත් ම අල්පව ය. ඔවුන් හැම කෙනෙක් ම පාහේ සිතනු ඇත්තේ අහවලා තමයි මට මේ දුක් දුන්නේ එයාට මොකක්ද තියන අයිතිය අපිට එහෙම දෙයක් කරන්න හොදයි බලාගමු මම එයාට හොද පාඩමක් උගන්වන්නම් කියා විය හැකිය.
එසේ වතුදු එයින් ම ඔහු ද නොදැනුවත්ව ම තවත් තමන් විදිනා දුක වැඩි කරගන්නේ ය මෙය සිද්ධ වනුයේ මෙලෙසට ය.
අතීතයේ අසා ඇති ගීතයක මෙසේ තිබුණා මතකය.
දුරස් වන්නට සිතන සැම විට තවත් ලංවෙනවා
මතක නැති කර ගන්න යන්න විට සිතේ රජ වෙනවා
අවිද්‍යාවෙන් වැසුණු තණ්හවෙන් බැදුනු සත්වයන්ට සිතිය හැක්කේ එලෙස පමණකි. තමාගේ සතුරා තමන් ලගම තබාගෙන තමන්ගෙන්ම ආහාර පාන ලබමින් අවස්ථාවක් එන තුරු නිදැල්ලේ මාන බලනා බවක් ඔවුන් කිසි ‍විටෙකත් විස්වාශ නොකරනු ඇත.
සියලු තතු පිළිබද ස්වයම් භූ ණුවනින් යුතු බුදු සමිදානන් වහන්සේ එය මෙසේ පැහැදිලි කරදුන් සේක.
“දිසො දිසං යං තං කයිරා
වේරිවා පන වේරිනං
මිච්චා පනිහිතං චිත්තං
පාපියෝ නං තතෝ කරේ
තරහා කාරයෙක් තමන්ගේ තරහකාරයෙකුගෙන් පලිගන්නා විට යම්සේ දරැණු වේද වෛර කාරයෙකු තමන්ගේ වෛරකාරයෙකුගෙන් පලිගන්නා විට එය කෙතරම් බිහිසුණු වේද ඒ බිහිසුණු බවටද වඩා නපුරක් නොමගට යෙදූ සිත ඇති තැනැත්තාට එයින් සිදු වන්නේ ය. මෙයින් අදහස් කරනු ලබන්නේ කුමක්දැයි කියා තේරැම් ගැනීම මදක් අපහසු වනු ඇත. මන්ද අප කරනා හා කියනා සිතනා සියලු දේ කරන්නට බලාපොරොත්තු වනුයේ මේ සිත සතුටින් තබා ගැනුමට ය එසේ තිබිය දී සිත තුලින්ම අපට නපුරක් වේයැයි සිතන්නේ කෙසේද එබැවින් එය තේරැම් ගැනීමට මදක් අපහසු වෙනු ඇත.
එසේ නමුදු තේරැම් ගත යුතු වූ කාරණාවද එයම ය. මේ සිත ගැන කරැණු දක්වන බුදු රජාණන් වහන්සේ ද්වේධා විතක්ක සුත්‍ර දේශනාවේදී මෙසේ වදාළ සේක. මහණෙනි මේ සිත තුල මෙවැනි ස්භාවයක් වේ. එනම් මේ සිත තමන් ඇසුරු කරනා ආසන්න ම සිතිවිල්ල හා ගැලපෙන අරමුණු වෙතම නිරතුරුව නැබුරුව පැවතීම ය. මෙය මදක් විස්තර කරගත් කල ඔබට වටහා ගැනීමට අපහසු නොවන්නේ ය. ඔබ ඔබේ ම චිත්ත ස්භාවය මදක් නිරික්ෂණය කර බලන්න. මදකට සිතා බලන්න ඔබේ සිතේ කවුරුන් කෙරෙහි හෝ තරහක් ඇතී වු මොහොතක් ගැන එවිට ඔබේ සිත තුල රැව් පිළිරැව් දුන‍්නේ ඔහු‍ හෝ ඇය විසින් කරන ලද යහපත් දේද අයහපත් දේදැයි ඔබේ විමසීමට ලක් කරන්න ඔබේ විමසීම නිවැරදී නම් එය මෙසේ වන්නේ ය.
“කෝපයෙන් යුතු මොහොතක් තමන් ගේ කෝපයට ලක් තැනැත්තා විසින් පෙර තමන්ට අවශ්‍ය විට කරන ලද උපකාර සිහිපත් නොවන අතර ඔහු විසින් ඊට පෙරද තමන්ට කරන ලද යම් යම් නින්දා අපහාස හෝ සිත් රිදවිම් වැලක් මෙන් දිගින් දිගටම සිහිපත් වන්නට පටන් ගන්නේ ය මෙය සිදු වනුයේ මෙලෙස ය.”
දැන් ඔබට මේ සිතේ ස්භාවය ගැන බුදු සමිදාණන් වදහල කාරනාවන් සිතට ගත හැකිය. ඒ තුලින් ඔබ මෙතෙක් හාන්කාසියක් වත් නොදැන සිටිමින් ඔබේ සතුරා නිර්මාණය කරමින් හා පෝෂණය කරමින් ගෙන ගිය මුග්ධ වැඩ පිළිවෙල අවසන් කර දෑමීමට එයින් ම මග පැදෙනු ඇත.
සියළු ධර්මයන් පිළිබද අවබෝධයෙන්ම වැඩ සිටි බුදු රජාණන් වහන්සේ මනස සහ මනසේ ස්භාවයත් එහි ඇති මුලා කරවන බව හා මයාවත් එයින් නිදහස් වී ගන්නේ කෙසේ ද යන බවත් දේශනා කොට වදාළ ‍සේක.
මේඝිය නම් භික්ෂුව උදේසා දේශනා කරනු ලැබූ අංගුත්තර නිකායේ නවක නිපාතයෙහි එන මේඝිය සුත්‍ර දේශනාවේ එය මෙසේ සදහන් ව ඇත.
අනිච්ච සඤ්ඤා භාවේතබ්බා අස්මි මාණ සමුග්ගාතාය අනිච්ච සඤ්ඤිනෝ මේඝිය අනත්ත සඤ්ඤා සණ්ඨාති අනත්ත සඤ්ඤිනෝ මේඝිය අස්මිමාන සමුග්ගාහතං පාපුණාති. දිට්ඨෙව ධම්මේ නිබ්බාණං
යනාදි ලෙසින් වදහල එයින් අදහස් කරනු ලබනුයේ මම මෙමි යයි තියනා හැගීම දුරුකර ගැනීම පිණිස අනිච්ච සඤ්ඥාව වැඩිය යුතු ය අනිච්ච සඥ්ඤාව වඩනු ලබන කල්හී ඒ අනිච්ච සඤ්ඤාව වඩනු ලබන තැනැත්තාගේ සිතට අනාත්ම ය පිළිබද වැටහෙන්නට පටන් ගන්නේ ය අනාත්ම සඤ්ඤාව පිළිබද අ‍වබෝධයෙන් දැකගත් කල මම වෙමි කියා සිටිනා අදහස සම්පූර්ණයෙන් ම බැහැර කොට මේ ජීවිතයේ දීම ඒ අමා නිවන් සුව අවබෝධ කරගනු ලබන්නේ ය යන්නය.
එසේ වදහල අනිච්ච සඤ්ඤාව ‍යම් කෙනෙකු වඩනු ලබන්නේ නම් එයින් ම ඔහුගේ කායික මානසික අසහනය වේදනා කාරි චිත්ත පීඩාවන් හා අනිකුත් බොහෝ ගැටලු නිරාකරණය කර ගත හැකි බව බොහෝ අනිච්ච භාවනාව වඩනු ලබන්‍නන්ගේ අද්දැකීම් අත‍ර වේ.
දිනක් මා හටද එයින් පහත සදහන් අත් දැකීම ලැබිය හැකි විය
එය මෙසේ ය. මනස තුල ඇති වූ යම් අවිනිස්චිත ස්භාවයක් නිසාවෙන් සිත තුල තරමක කැලබිලි සහගත බවක් ද එමගින් ඇති වූ මානසික අසහනයකට පැය කීපයක් තිස්සේ ගොදුරුව සිටි මට ඒ උදෑසන මේ සිතිවිල්ල පහල වීය. මේ වෙනුවෙන් මා ආයතන වල අනිච්ච වැඩනවා නම් හොදයි කියාය.
මා ඒ සිතිවිල්ලෙන් පසුව මුලින් ම මණස අරමුණු කලෙමි.
ඒය මෙසේ ය.
මනසට දැනෙන අරමුණු හේතුන් නිසා හටගත් බැවින් වහා වෙනස් වී යන බැවින් අනිත්‍ය යි අනිත්‍ය යි අනිත්‍ය යි.
එයින් ලද අස්වැසිල්ත් සමග ඉතිරි ආයතන ගැන ද එසේ මෙනෙහි කර බැළීමි. මද වේලාවකින් පසුව මාගේ සිතෙහි වූ ඒ පීඩාකාරි මානසිකත්වය වෙනුවට ‍සිසිල් පැන් නහා පිරිසිදු ඇදුම් ඇද ගත් විට කයට හා සිතට දැනෙන විදිහේ සැපයක් එහි වීය.
එබැවින් පිංවත් ඔබද ඒ මානසික පීඩාවන් හෝ වෙනත් බාහිර බලපෑමක් නිසා හෝ ඇතිවෙන සුළු වේදනාවන් සමගින් පීඩාවට පත්ව සීටී ද? අනිත්‍ය වැඩීම පුරුදු කරන්න එයින් ඔබට මහත්ම යහපතක් ම සිදු වන්නේ ය.
ඔබ අනිත්‍ය භාවනාව වඩන විට තවද දැන ගත යුත්තක් ඇත. එනම් ඒ මෙනෙහි කිරීමත් සමග අනිත්‍ය තාවය පිළිබද දැක ගැනීමයි අනිත්‍ය තාවය දැක ගැනීම යනුවෙන් කියනු ලබන්නේ නිරන්තරයෙන් වෙනස් වන ස්භාවය ගැන යම් විදිමත් ආකාරයකට දැනගැනීමයි. උදාහරණයක් වසයෙන් මේ ඇසට පෙනෙන රුප ගෙන බලන්න ඒවා ඇත්තටම එකම ලෙසින් පවතින දේවල් නොව නිරන්තරයෙන් වෙනස් වීමට භාජනය වන දේවල් ය. ඒ ගැන මදක් සිතා විවිධ හේතුන් නිසා වෙනස් වෙන ආකාරය ගැන මදක් සිතා බලන්න. එය හුදෙක් ඔබේ අත්දැකීමකට අනුව සිතන්න ඇසින් දුටු රුප කොයිතරම් නම් වෙනස් වීමට භාජනය වී ඇත්දැයි කියා ඔබට වැටහී යනු ඇත. අනිත්‍ය ස්භාවය පිළිබද ව දැක ගත යුතුයයි කියනු ලබන්නේ එයටය. එය ඒ ආකාරයෙන් නිරන්තරයෙන් මනස තුලට ඇතුලත් කීරීමෙන් මනසේ අවධානය ඒ අනිත්‍ය වී යන රුප දෙසට එල්ල කර තැබීමෙන් සිදු වනු ලබන්නේ ඒ ‍ඒ දේවල් වලට අප ලබා දී ඇති නිත්‍ය සුඛ ආත්ම සංකල්පය අපෙන් ටිකින් ටික බැහැර වී යාමය. එබැවින් පිංවත් ඔබද අනිත්‍ය භාවනාව වඩමින් ජීවිතය ගැන යම් අ‍වබෝධයක් ලබත්වා
අනිත්‍ය භාවනාව වඩන විට එය සිදු කල යුතු ආකාරය මෙසේ ය. නිහඩ නිශ්කලංක වීවේකි පරිසරයක් තෝරා‍ ගෙන එහි වාඩි වන්න
දැස් පියාගෙන මෙසේ සිතන්න
ඇසට පෙනෙන රුප හේතුන් නිසා හටගත් බැවින් වහා වෙනස් වී යන හෙයින් අනිත්‍ය යි අනිත්‍ය යි අනිත්‍ය යි
ඇසට පෙනෙන රුප හේතුන් නිසා හටගත් බැවින් වහා වෙනස් වී යන හෙයින් අනිත්‍ය යි අනිත්‍ය යි අනිත්‍ය යි
ඇසට පෙනෙන රුප හේතුන් නිසා හටගත් බැවින් වහා වෙනස් වී යන හෙයින් අනිත්‍ය යි අනිත්‍ය යි අනිත්‍ය යි
ඇසට පෙනෙන රුප හේතුන් නිසා හටගත් බැවින් වහා වෙනස් වී යන හෙයින් අනිත්‍ය යි අනිත්‍ය යි අනිත්‍ය යි
මෙය වනාහි ඇස පිළිබද වූ අනිත්‍ය භාවනාව ය.
අනිකුත් ආයතන පිළිබදව ද අනිත්‍ය වැඩීම සිදු කල හැකිය.
ඒ සදහා ඒ ඒ ආයතනයන් මෙලෙස මෙනෙහි කිරීම සුදුසුය.
කණට ඇසෙන ශබ්ද හේතුන් නිසා හටගත් බැවින් වහා වෙනස් වී යන හෙයින් අනිත්‍ය යි අනිත්‍ය යි අනිත්‍ය යි.
නාසයට දැනෙන ගද සුවද හේතුන් නිසා හටගත් බැවින් වහා වෙනස් වී යන හෙයින් අනිත්‍ය යි අනිත්‍ය යි අනිත්‍ය යි.
දිවට දැනෙන රස හේතුන් නිසා හටගත් බැවින් වහා වෙනස් වී යන හෙයින් අනිත්‍ය යි අනිත්‍ය යි අනිත්‍ය යි.
කයට දැනෙන පහස හේතුන් නිසා හටගත් බැවින් වහා වෙනස් වී යන හෙයින් අනිත්‍ය යි අනිත්‍ය යි අනිත්‍ය යි.
සිතට දැනෙන අරමුණු හේතුන් නිසා හටගත් බැවින් වහා වෙනස් වී යන හෙයින් අනිත්‍ය යි අනිත්‍ය යි අනිත්‍ය යි.
මේහි සදහන් අරමුණු අතරින් ඔබට වඩාත් උචිත යැයි හැගෙන අරමුණක් ගෙන එය අනුව අනිත්‍ය මෙනෙහි කිරීම අරම්භ කරන්න මේ ආයතන 6 ම මුලින් ම ගෙන නොවැඩීම ඔබේ සතිය වඩාත් යහපත්ව හා ශක්තිමත්ම තබාගැනීමට හේතු වන්නේ ය. එ බැවින් ඒ එකක් ගෙන එය දිගින් දිගට වඩන්න පසුව ඒ පහම ගෙන ‍එකට වඩන්නට හැකි වෙන දවසක් එනු ඇත. එතෙක් කලබල නොවී සිටින්න.
තෙරුවන් සරණයි!!!
මේ සදහා හඩ පටයක් ද ඇති අතර එය පහත සදහන් ලින්ක් එකෙන් ඔබට නොමිලයේ ම ලබාගත හැකිය සදහම් පවස ඇත්තෝ දහම් රස විදිත්වා !!!
සැමට තෙරැවන් සරණින් සියළු යහපත උදාවේවා
පූජණීය එප්පාවල සාගරසුමන ස්වාමීන් වහන්සේ
Read more...

මෛත්‍රී භාවනාව




නමෝතස්ස භගවතෝ අරහතෝ 
සම්මා සම්බුද්ධස්ස 
බුදුගුණ අනන්තයි 
සදහම් ගුණ අනන්තයි 
මහසඟ ගුණ අනන්තයි 

අනන්ත බුදුගුණ බලයෙන් ද 
අනන්ත සදහම් ගුණ බලයෙන් ද 
අනන්ත මහසඟ ගුණ බලයෙන් ද 
අනන්ත මවුපිය ගුණ බලයෙන් ද 
අනන්ත ආචාර්ය උපාධ්‍යාය ගුණ බලයෙන් ද 
අනන්ත මහ බෝසත් ගුණ බලයෙන් ද 
අනන්ත ආර්ය දිව්‍ය රාජගුණ බලයෙන් ද 
අනන්ත ආර්ය බ්‍රහ්ම රාජගුණ බලයෙන් ද 
මාගේ සීලාදී ගුණ බලයෙන් ද 

මම නිදුක් වෙම්වා! 
නිරෝගී වෙම්වා! 
සුවපත් වෙම්වා! 

මා මෙන් ම මාගේ මවුපිය ගුරු දෙගුරු උතුමෝ ද 
කළණ මිතුරෝ ද 
හිතවන්තයෝ ද 
මැදහත් වූවෝ ද 
අහිතවත් වූවෝ ද 
සියලු මනුෂ්‍යයෝ ද සියලු සත්ත්වයෝ ද 

නිදුක් වෙත්වා! 
නිරෝගී වෙත්වා! 
සුවපත් වෙත්වා! 
ආයුෂයෙන් වැඩෙත්වා! 
වර්ණයෙන් වැඩෙත්වා! 
සැපයෙන් වැඩෙත්වා! 
කාය බලයෙන් වැඩෙත්වා! 
ඤාණ බලයෙන් වැඩෙත්වා! 
සුවසේ නිදත්වා! 
සුවසේ පිබිදෙත්වා! 
දෙවි මිනිසුන් හට ප්‍රිය වෙත්වා! 
දෙවි බඹුන්ගේ ආරක්ෂාව ලබත්වා! 
ගුණයෙන් නුවණින් වැඩෙත්වා! 
ධනයෙන් ධාන්‍යයෙන් වැඩෙත්වා! 
යසසින් ඉසුරින් වැඩෙත්වා! 
සැපතින් සම්පතින් වැඩෙත්වා! 
හිරි ඔතප් ගුණයෙන් වැඩෙත්වා! 
ශ්‍රද්ධාවෙන් සිලයෙන් වැඩෙත්වා! 
ශ්‍රැතයෙන් ත්‍යාගයෙන් වැඩෙත්වා! 
ඤාණයෙන් අවබෝධයෙන් වැඩෙත්වා! 
සාමයෙන් සමාදානයෙන් වැඩෙත්වා! 
ශාන්තියෙන් ඉවසීමෙන් වැඩෙත්වා! 
සැනසුම් සුවයෙන් වැඩෙත්වා! 
මෛත්‍රියෙන් කරුණාවෙන් වැඩෙත්වා! 
මුදිතාවෙන් උපේක්ෂාවෙන් වැඩෙත්වා! 
සමථ විදසුන් නුවණින් වැඩෙත්වා! 
සියවස් කලක් දීර්ඝායුෂ වළඳත්වා! 
දෙලොව සුව සෙත ලබත්වා! 

සියලු සත්ත්වයෝ සුමිහිරි නිවන් සැපතින් සුවපත් වෙත්වා! 
සුවපත් වෙත්වා!! 

තල්පිටියේ කෝලිතවංශ හිමි 
Read more...

ආනාපානසති භාවනා



ආනාපානසති භාවනාව මුලින්ම සමථ භාවනාවක් ලෙස ප්‍රගුණ කර, ඉන් අනතුරුව එය විදර්ශනා භාවනාක් ලෙස ප්‍රගුණ කරන ආකාරය මෙම ලිපියෙන් සරලව පැහැදිළි කෙරේ.
හුස්ම ගැනීම හෙලිම, පිම්බීම, හැකිලීම පිළිබඳව සිහිය පිහිටුවා සිටීම ආනාපාන සති භාවනාවේ මුලිකම අදියරයි. කෙනෙකු හුස්ම ගැනීම හෙළිම මෙනෙහි කරන්නේ නම් තම සිත ගැටෙන ස්ථානය නාසය ලෙස හදුනාගැනේ. කෙනෙක් පිම්බීම හැකිළීම මෙනෙහි කරන්නේ නම් තම සිත ගැටෙන ස්ථානය උදරය හෝ පපුව ලෙස හදුනා ගනි.
ප්‍රථමයෙන් යහපත් වීර්යයකින් සහ අධිෂ්ඨානයකින් යුතුව භාවනාව ආරම්භ කරන යෝගියා, ක්‍රමාණුකූලව ස්වභාවිකව ආශ්වාස ප්‍රාශ්වාස සිදුවනතාක්කල් භාවනාව ප්‍රගුණ කරයි. එහිදි කිසිදු උත්සාහයකින් තොරව ආශ්වාස ප්‍රාශ්වාස නිමිත්ත තුළ අඛණ්ඩව සිහිය පිහිටුවීමට හැකිවේ. එසේ අඛණ්ඩව තම සිහිය පිහිටුවීමට හැකිවන තෙක් ඉහත පරිදි ආනාපානසති භාවනාව ප්‍රගුණ කළ යුතුය.
ඉන් අනතුරුව ‘පිම්බීම-හැකිළීම’ හෝ ‘ඇතුල්වීම-පිටවීම’ තම කර්මස්ථානය ලෙස මෙනෙහි කරන්නා එම මෙනෙහි කිරීම නතර කර, ‘පිම්බීම-හැකිළීම’හෝ ‘ඇතුල්වීම-පිටවීම’ දෙස සිහියෙන් බලා සිටීමට පුරුදුවිය යුතුය.
මෙහිදි සියුම් සුළං රැල්ලක් ශරීරයට ඇතුල්වන බවත්, පිටවන බවත් හොඳීන් දැනේ. එනම්, වායෝ ධාතුවත්, කායප්‍රසාදයත්, විඥානයත් තුනම එකට බැඳුණු අවස්ථාවකට යෝගියා පත්වේ.
තවදුරටත් ආනාපාන සති භාවනාව වඩන විට සියුම් සුළං රැල්ලක් කිසියම් ස්ථානයක සියුම්ව ගැටෙන බව නැතහොත් ස්පර්ශ වන බව සංවේදි වේ. තම ශරීරය පිළිබඳව කිසිම නිමිත්තක් හට නොගන්නා තත්වයකට ද යෝගියා පත්වේ.

සුළං රැල්ලත් (වායෝ ධාතුවත්), එම සුළං රැල්ල නිමිති කර ගත් සිතුවිල්ලත් (විඥානයත්) පමණක් පවතින බවට හැගේ. මෙම සමාධි තත්වය ඉතා දියුණු තත්වයක් නිසා, එය අඛණ්ඩව දිනපතා ප්‍රගුණ කර ස්ථාවර තත්වයකට පත්කර ගත යුතුය.
ඉන් අනතුරුව සමාධිගත වු මනස ප්‍රඥාව වර්ධනය කර ගැනීම සඳහා යොමු කළ යුතුය. සත්‍ය සත්‍යාකාරයෙන් අවබොධකර ගැනීමේ හැකියාව ප්‍රඥාව ලෙස සරලව දැක්විය හැක. ‘මම සත්‍ය අවබෝධකර ගනිමි .....’ යනුවෙන් දැඩි අධිෂ්ඨානයක් සිදු කරන්න. ඉන්පසු ඔබට සංවේදි වන සුළං රැල්ල නමැති නිමිත්ත හෙවත් සංඥාව දෙසට සමාධිගත මනස යොමු කරන්න. මෙහිදි ඔබට ශ්‍රී සද්ධර්මයේ පළමු ධර්මතාවය අවබෝධ වේ.
එනම් සුළං රැල්ලේ වෙනස් වීමයි. එකම සුළං රැල්ලක් තමාට නිමිති වන්නේ එකම එක සැරයක් බවත් ඉන්පසුව සංවේදි වන සුළං රැල්ල තවත් අලුත් සුළං රැල්ලක් බවත් අවබෝධ වේ. නාසයෙන් ඇතුල් වන සුළං රැල්ල නාසයෙන් එළියට පැමිණෙන විට එය වෙනස් වී ඇති බවත් අවබෝධ වේ.
මෙම අවබෝධය හරහා එක සුළං රැල්ලක් ශරීරයට ඇතුල් වන විට ක්ෂණික ඉපදීමක් සිදුවන බවත්, පිටවන විට ක්ෂණික මරණක් සිදුවන බවත් අවබෝධ වේ. මෙසේ සුළං රැල්ලේ වෙනස්වීම හෙවත් අනිත්‍යභාවය නිමිති කර ගනිමින්, සුළං රැල්ලක ඇතිවීම, පැවතීම, නැතිවීම සංවේදි වන පරිදි ආනාපානසති භාවනාව වැඩිය යුතුය.
මෙය අනාපානසති භාවනාවේ අවසානය නොවේ. තවදුරටත් දියුණු කළ හැක. නමුත් පොත් පත් හෝ මෙවැනි ලිපි පරීශීලනයෙන් කොතරම් දුරට භාවනාව වැඩීම සිදුකළ හැකිද යන්න ගැටළු සහගතය. එමෙන්ම දවස් කිහිපයක් හෝ සති කිහිපයක් පමණක් බවුන් වඩා මෙවැනි දියුණු සමාධි තත්වයකට පත්වීම එතරම් පහසු කාර්යයක් නොවේ. එමනිසා නොසැලෙන අධිෂ්ඨාන ගුණයත්, නොපසුබට වීර්යත් යෝගියෙකු හට මහත්ඵල මහානිසංස ලැබීමට අත්‍යාවශ්‍යම ගුණාංගයන්ය.
එම ගුණාංගයන් සමඟ තවදුරටත් ආනාපානසති භාවනාව ප්‍රගුණ කිරීමේදි සුළං රැල්ල (වායෝ ධාතුව) හෙවත් භාවනා නිමිත්ත අභිබවා සිතුවිල්ල (විඥානය) වඩා හොදින් සංවේදි වන්නට පටන් ගනි. ඒ අනුව සිතුවිල්ල තුළ පවතින සිතුවිල්ලේ හට ගැනීම, පැවතීම, නැතිවීම පිළිබඳව අවබෝධය (ඥානය) පහළ වී ශ්‍රී සද්ධර්මය යථාභූත ඥානයෙන් අවබෝධ වන්නට පටන් ගනි.

තෙරුවන් සරණයි!

බෝසත් මාතා විපස්සනා භාවනා මධ්‍යස්ථානය -
මීගමවත්ත, වත්තේගම - මහනුවර

Read more...

පියවි ඇසින් ඔබ්බට


කෙනකු මරණයට පත්වූ විට ඔහුගේ ශරීරයෙන් නික්ම පිටතට යන උපාදානස්කන්ධ සංයුතියට හෙවත් පුද්ගල අනන්‍යතාවයට සිදු වන්නේ කුමක් දැයි විමසා බලන උගත්තු විවිධ මත දරති. මෙසේ ශරීරයෙන් නික්ම යන දෙයට සමහරු ආත්මය යැයි ද කියති. බෞද්ධ වූ අප ද සම්මුතිය වශයෙන් ගෙන එයට ආත්මය යැයි හඳුන්වන්නට පුරුදුව ඇත.

එහෙත් බුදු දහමට අනුව එය “පංච උපාදානක්ඛන්ධ” යැයි හැඳින්වේ. මෙසේ ශරීරයෙන් නික්ම ගිය පුද්ගලයා කලින් භවයේ උපත ලබා සිටි පුද්ගලයාම දැයි එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේගෙන් කෙනෙකු විමැසූ විට “ඔහු කලින් සිටි පුද්ගලයා ද නොවේ. කලින් සිටි පුද්ගලයා නොවන්නේ ද නොවේ” යැයි දේශනා කොට ඇත. මෙය ඉතා සියුම්ව විමසිල්ලෙන් කල්පනා කොට තේරුම් ගත යුතු කාරණයකි.

අවසාන චූති චින්තයත් සමඟ ප්‍රතිසන්ධිය හෙවත් ප්‍රතිසන්ධි චින්තය පහළ වේ යැයි ද එය කූඩැල්ලා සිටි තැන අත හැර තවත් තැනක් අල්ලා ගැනීම හා සමාන වේ යැයි සමහරු අදහස් දරති. එහෙත් මේ කූඩැල්ලා ගේ උපමාව ත්‍රිපිටක ධර්මයේ කිසි තැනක සඳහන් වන්නක් නොවේ. මරණයෙන් නික්ම යන පුද්ගලයා තමන්ට සුදුසු වූ කර්මානුරූපව ගැළපෙන ස්ථානයක් සිය ප්‍රතිසන්ධිය සඳහා ලැබෙන තුරු, සකස් වන තුරු අන්තරාභව තත්ත්වයක සිටින බව තවත් සමහරු පවසති.

අපවත් වී වදාළ හේන්පිට ගෙදර ඤාණසීහ නාහිමියෝ ද, කන්නිමහර සුමංගල හිමියෝ ද, අග්ගමහා පණ්ඩිත බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නාහිමියෝ ද මේ දෙවැනි මතය පර්යේෂණාත්මකව පිළිගෙන අදහස් ප්‍රකාශ කළහ. පළමු පාර්ශවය අදහස් දක්වන්නේ පොත ම පදනම් කොටගෙනය. එහෙත් අභිධර්මයට අනුව ක්ෂණයක් නිසා උප්පාද – ස්තිථි – භංග වශයෙන් වෙනස් වෙමින් පවතින චිත්ත ස්වභාවය ම සැලකිල්ලට ගෙන බලන විට මෙහි ගැටලුවක් නොපෙනේ. අන්තරාභවය හෝ වේවා තාවකාලික භවය හෝ වේවා ඊළඟ උපතක් බලාපොරොත්තුව සිටින මේ තත්ත්වය ද භව තත්ත්වයක් ම ලෙස ගත් කල මෙහි ගැටලුවක් මතු නොවේ.

එසේ ම කෙනෙකු ස්වකීය ඕලාරික ශරීරයෙන් ඉවත් වී මනෝකායිකව ස්වල්ප වේලාවක් හෝ කල් ගෙවයි නම් එය ද එවැනි තත්ත්වයකි. අන්තරාභව තත්ත්වය හා මනෝකාය තත්ත්වය යන දෙක වෙනස් වූ තත්ත්ව දෙකක් වුවද බොහෝ දුරට ස්වභාවයන් සමාන බවක් ගනී. ඒ නිසා මේ ලිපියෙන් අලුත් ම අත්දැකීමක් විස්තර කැරේ.

මේ ගාල්ලේ කේ.කේ. විතාන මහත්මියගේ අත්දැකීමයි. “මගේ දෙවැනි දරු උපත සිදුවුණේ ගාල්ල මහ මෝදර මහා රෝහලේදී යි. මේ වන විට වයස අවුරුදු තුනක් වූ හුරතල් දියණියක් මට සිටි අතර දෙවැනි වර උපත ලැබුවේ පුතෙක්. පුතා ඉපදී දෙවැනි දවසේ රෝහලෙන් පිට වී ගෙදර ආවා.

රෝහලේ සිට ගෙදර ආ දවසේ සිට දිනෙන් දින ම මා අසනීප වුණා. වරින්වර සීතලත් සමඟ ම උණෙන් පෙළෙන්නට වුණා. දවස් තුන හතරක් උණෙන් පෙළෙන විට බඩේ අමාරුවකුත් වැළඳුණා. තවත් රෝග තත්ත්ව ගණනාවක් මගේ ශරීරයට පීඩා කරන්නට පටන් ගත්තා. ලබන ලද වෛද්‍ය ප්‍රතිකාරවලින් සුවයක් ලැබුණේම නැහැ. ඊළඟට ඇඟ සීතල කරන විට වෙව්ලන්නත් පටන් ගත්තා.

දරු ප්‍රසූතියෙන් අටවැනි දිනය වන විට නැවතත් මා කලින් පරීක්ෂා කළ ප්‍රසව හා නාරිවේදී විශේෂ වෛද්‍යවරයාට පෞද්ගලික රෝහලකදී පෙන්නුවා. මා පරීක්‍ෂා කර බැලූ වෛද්‍යවරයා නළලේ අත තියාගත්තා. වහාම රෝහල් ගත කරන්නට කීවා. එම රෝහලේ ම වාට්ටුවක නතර කළ වෛද්‍යවරයා තවත් විශේෂඥ වෛද්‍යවරයෙකු ලවා ද පරීක්‍ෂා කැරෙව්වා.

එදින රාත්‍රි 7 වන විට ම නැවතත් අර දරුණු සීතල හැදී ගැහෙන්නට වුණා. අවට සිටි පස්හය දෙනෙකු මා අල්ලා නතර කළ නොහැකි තරමින් ගැහෙන්නට වුණා. ඒ වෙලාවේ වාට්ටුව භාරව සිටි වෛද්‍යවරිය මට පෙනිසිලින් එන්නත ලබා දුන්නා. එන්නත ලබා දුන් වෛද්‍යවරිය ආපසු හැරෙන විට ම මගේ බඩපිම්බී රතු ලප මතු වුණා. ඒ පෙනිසිලින් අසාත්මිකතා රෝග ලක්‍ෂණයක් බව මා දැන ගත්තා. මට අමාරු බව වැටහුණු මගේ ළඟ සිටි නැන්දා වෛද්‍යවරිය සොයා දිව ගියා. මේ අවස්ථා වන විට මට හොඳටෝම අමාරුයි. මගේ ශරීරය පුරා සියලු සන්ධි, ඇඟිලි පුරුක් පවා ඉඳිකටු අනින්නා සේ වේදනාව දෙන්න වුණා.

මේ වේලාවේ මට කිසියම් අනතුරක් සිදුවී ගෙන එන බව වැටහුණා. ඒත් සමඟ ම මගේ සිහියට අවේ මගේ අවුරුදු තුනයි මාස තුනක් වයසැති සිඟිති දියණියයි. කලිසම් කොටයක් හැඳ කිනම් හෝ සෙල්ලම් බඩුවක් අතින් ගෙන මා ළඟ දැවටි දැවටී සිටීම ඇගේ පුරුද්දයි. ඇය සිහි වී මට විශාල දුකක් ඇති වුණා.

මගේ අම්මා ජීවතුන් අතර සිටින බැවින් ද, අම්මා මගේ දුවට ආදරේ නිසා ද මගේ අම්මා ඇය බලා ගනීවිය කියන දැඩි විශ්වාසය මා තුළ හට ගත්තා. මගේ අම්මා මටත් වඩා හොඳින් දුව බලා ගනීවිය යන විශ්වාසය මගේ සිතේ ඇති වෙනවාත් සමඟ ම දුව ගැන තිබුණු සියලු ම හැඟීම්, සිතුවිලි පහව ගියා.

ඒ වන විට දින අටක් වයසැතිව සිටි පුතා ගැන නම් කිසි ම හැඟීමක් ඇති වුණේ නෑ,, අලුත් දරුවාගේ සියලු කටයුතු කළේ මගේ මවයි. මා කළේ කිරිදීම පමණයි. අම්මා දුවව බලා ගනීවිය යන සිතුවිල්ල ආ හැටියේ මගේ හිත සම්පූර්ණයෙන් ම හැදුණා. මෙලෝ ආසාවක් අංශු මාත්‍රයක පමණින්වත් මගේ හිත තුළ ඉතුරුව තිබුණේ නෑ. සිත පුදුම විදිහේ ප්‍රසන්න තත්ත්වයකට පත් වුණා. පෙනිසිලින් විෂවීමෙන් ඇති වූ ශාරීරික අපහසුතා පවා දැනුණේ නෑ. ගත සිත දෙක ම ඉතා සැහැල්ලු වුණා.

සිත සැහැල්ලු වී ප්‍රසන්නවීමත් සමඟ ම මෙතෙක් කල් මා දැක තිබූ සියලු දෙනා ම පාහේ ඡායාරූපයක මෙන් එක්වර ඔවුන්ගේ මුහුණු දර්ශනය වුණා.

අඩි එකහමාරක් පමණ දිග පළල ඇති ඡායාරූපයක ඔවුන් දර්ශනය වූ අතර ඒ කුඩා මුහුණු සමූහය අතර ඒ මැද මගේ ඥාති සහෝදරයෙක් හා ඔහුගේ බිරිය සිත් ගන්නා වූ චාම් ඇඳුම්වලින් සැරසී ඉතා ප්‍රසන්න සිනහවකින් මා දෙස බලා සිටියා. අනිත් අයගේ මුහුණුවල රූප මෙන් නොව ඔවුන් දෙදෙනා සම්පූර්ණ ශරීරයෙන් ජීවමානව පෙනී සිටියා. මේ ඥාති සහෝදරයා මට ටිකක් ඈතින් ඥාතියෙකු වුණත් මගේ වාසගම ම ඔහුටත් තිබුණා. ඔවුන් දෙදෙනා මා දැක්කේ සුවිශේෂී ආකාරයකිනි. ඒත් සමඟ ම මම මගේ ශරීරයට ඉහළින් පා වී යනවා මා දැක්කා. ඉතා සැහැල්ලුවෙන් ඉහළට පාවුණු මා සේලයින් බෝතලය එල්ලූ ආධාරකය මුදුණේ සිට ඇඳ මත තිබූ මගේ ශරීරය දෙස බලා සිටියා.

මගේ ඇඳ වට කර ගත් වෛද්‍යවරිය හා හෙදි පිරිස කඩිසරව කටයුතු කරනු මා දැක්කා. මගේ් අත් දෙකේ මාරුවෙන් මාරුවට රෙදි පටියකින් බඳිමින් බෙහෙත් විදින හැටි මා දැක්කා. මගේ ශරීරයේ සිට අඩි දෙකහමාරක් උඩ සිට තවත් ඉහළට ඉහළට යනවාත් මා දැක්කා. ඇඳ ළඟ එක් හෙදියක් පමණක් නවත්වා වෛද්‍යවරිය හා අනිත් අය ඉවතට යනවාත් මට හොඳට ම මතකයි. මා ශරීරයෙන් පිට වුණු ආකාරය පිළිබඳ මට කිසිම මතකයක් නැතත් මගේ ශරීරයෙන් පිට වී ගියේ ජම්බල ගෙඩියක් තරම් ලොකු, කිසි ම පැහැයක් නැති යම් ශක්ති ගොන්නක් බව දැනුණා. එසේ ම අන්තිමට මා ඇඳ උඩ සිටින බව දැනුණත් යළිත් ශරීරය තුළට ආවේ කෙසේ දැයි මතක නැත.

එදා ඒ තරම් අසාධ්‍ය තත්ත්වයෙන් සිටි මා පහුව දා උදේ කිසිවක් සිදු නොවුණු අයුරින් ඇඳෙන් බැස මා ළඟ නතර කැර සිටි නැන්දා සමඟ නාන කාමරයට ගොස් මුහුණ කට සෝදා ගෙන ඇඳුම් මාරු කැර ගෙන ආවා. මා දුටු හෙදියන් සිනාසෙමින්

”අයියෝ! ඊයේ රෑ ඔයා අර මොකක්ද කරන්න හැදුවේ, අපි හරියට බයවුණා” යි කීවා.

මේ සිදුවීම ගැන කල්පනා කැර බලන විට මට හැඟෙන්නේ මා ඒ වෙලාවේ ස්ථිර වශයෙන් ම මගේ ශරීරයෙන් නික්ම ගියා නම් අර පෙනුණු ඥාති සහෝදරයා ළඟ උපදින බවයි. ඒ අය්යාත් අක්කාත් ඉඳහිට පාරේ දී මුණ ගැසී කතා කළොත් මිස අප අතර වැඩි සම්බන්ධයක් තිබුණෙත් නෑ. දැනුත් නැහැ. ඒ අයියා මට ඒ තරම් රුස්සන චරිතයකුත් නොවෙයි. මේ ආත්මයේ මගේ අදහස් උදහස්වල නොගැලපීම් නිසා ඇති වූ මත ගැටුම් හේතුවෙන් මගේ පියා මටවත්, මම පියාටත් ඒ තරම් ඇලුම් බවක් පැවතුණේ නැහැ. මා එදා මගේ ශරීරයෙන් නික්ම ගොස් ඒ සහෝදරයා ළඟ උපන්නා නම් මේ ආත්මයේ පියා ළඟ ගෙවා දැමූ ආකාරයට ම අලුත් පියා ළඟත් කාලය ගෙවන්නට තිබුණා. ඔහු ළඟ ඉපැදුණා නම් මේ භවයේත් මා දැනට දරන වාසගම ම ලබන්නත් තිබුණා.” යැයි විතාන මහත්මිය එලොව ගොස් යළි මෙලොව ආ හැටි විස්තර කළාය.

මේ සිද්ධිය පාදක කොට ගෙන බලන විට විතාන මහත්මිය ගේ් චුති චින්තයත් සමඟ ම ප්‍රතිසන්ධිය සිදු වන තැන දර්ශනය වී ඇත. එහෙත් මේ භවයේ ජීවත්වීමට නිර්මාණය වී තිබූ ශරීරයේ, අසනීපය හා ජීවත්වීම සඳහා ඇතිව තිබුණු නුසුදුසු තත්ත්වය වෛද්‍යවරිය හා හෙදියන් විසින් නැවත සුදුසු තත්ත්වයට ගැනීම සිදු වීමෙන් ඇය නැවතත් සිය ශරීරයට ම ආවාය. හෙවත් ඒ උපාදානස්කන්ධයත් සමඟ නැවත මෙහිම ප්‍රතිසන්ධිය ලැබුවාය. ඇය මරණාසන්න මොහොතේ ඊළඟ උපත ලබන ස්ථානය දුටුවාය. එහෙත් මෙතැනින් නික්ම යන මොහොතේ ඊළඟ උපදින තැන තීරණය වී තිබුණ ද අලුත් අම්මාගේ කුස තුළ පිළිසිඳීමට අවශ්‍ය සුදුසුකම් ගොඩ නැගී නොතිබුණි.

එහෙත් ඇය ඉහළට පා වී ගියාමෙන් ම මරණයට පත් වූවා නම් ඇගේ මළ සිරුර ගෙන යන තැන්වලට ඇගේ නිවසට, දරුවන් ළඟට, අවසන් කටයුතු සිදුවන අවස්ථාවට, ගෙදර යන එන ඥාතීන් දැක ගැනීමට, ඔවුන් කරන කියන දේ දැක බලා ගැනීමට බොහෝ දුරට ඉඩකඩ තිබුණි.

එසේ ම මේ හා සමාන තත්ත්වයකට පත් වන පුද්ගලයා දරන්නේ ද කලින් සිටි ශරීරයේ ම සියුම් ස්වභාවයකි. ඔහු හෝ ඇය පෙනී සිටින්නේ ද කලින් ජීවත්ව සිටි නාමයෙනි. මෙසේ ශරීයෙන් පිට වී යන පුද්ගලයා ටික වේලාවක් හෝ වේවා දින කීපයක් හෝ වේවා වසර කීපයක් හෝ වේවා ඒ ගත කරන කාලය අන්තර්භවයක් හෝ තාවකාලික භවයක් ලෙස ගැනීමට කිසිම බාධාවක් නැත. එසේ කියනු ලබන්නේ ඒ තුළ ද පංච උපාදානස්කන්ධ සංයුතියක් පවතින නිසාය. ඒ සත්ත්වයාට ද සිතුම් පැතුම් හා දැනීම් ඇත. පෙනීම හා ඇසීම ද ඇත. හඳුනා ගැනීමේ හැකියාව මෙන් ම අතීත මතකය ද ඇත.

උපුටාගැනීමකි - පියවි ඇසින් ඔබ්බට, මතුගම මහින්ද විජේතිලක
Read more...

අනුසස් ලැබෙන මහඟු පින්කම්

හබරන වෙහෙරහේන යෝගාශ්‍රමයේ මැල්ලවගෙදර සමණධම්ම හිමි 

නමෝතස්ස භගවතෝ
අරහතෝ සම්මා සම්බුද්ධස්ස
පඤ්චානිසංසා, සම්මජ්ජනියා, සකචිත්තං පසීදති, 
පරචිත්තං පසීදති, දේවතා අත්තමනා හොන්ති, 
පසාදික සංවත්තනිකං පුඤ්ඤං උපචිනාති,
කායස්ස භේදා පර්ම්මරණා සුගතිං සග්ගං ලෝකං උප්පජ්ජතිති.


පින්වත්නි,


ඉහත පාඨයෙන් ප්‍රකාශ වන්නේ විහාරස්ථාන, බෝමළු ඇමදීමේ අනුසස් පිළිබඳවයි. එහි සාමාන්‍ය අදහස වන්නේ, “ඇමදීමෙන් අනුසස් පහක් ලැබෙන බවයි. තමන්ගේ සිත පහදී, අනුන්ගේ සිත් පහදී, දෙවියෝ සතුටුවෙති. රූපශෝභාව ලැබේ. මරණින්මතු සුගතියෙහි උපදී.”


පින්වත්නි, විහාරස්ථාන, බෝමළු ඇමදීම වියදමක් නැතිව කාටත් කළහැකි විශිෂ්ටතම පින්කමක්. සිතේ ශ්‍රද්ධාව ඇතිව එය කරන්නේනම් අනන්ත ආනිශංස ලැබෙනවා. බෞද්ධයින් අඩුතරමින් පොහොය දිනටවත් විහාරස්ථානයට යනව. බොහෝ උපාසක උපාසිකාවන් උපෝසථ අෂ්ඨාංග ශීල ගෘහස්ථ දසසීල සමාදන් වෙනව. ඒ අයට එදින කළහැකි ඉතාම පහසු කුසලයක් නම් මලුපෙත් ඇමදීම, මල් අසුන්වල පරමල් ඉවත්කර මල් අසුන් සෝදා පිරිසුදු කිරීම, දාගැබ්, බෝමලු විහාර මලුව ඇමද පිරිසුදු කිරීම ආදී කුසලකාර්යයන්. මෙය වියදමක් නැතිව කළ හැකි උසස්ම කුසලකර්මයක්.

විහාරස්ථාන වතාවත් කිරීමෙන් ලැබෙන අනුසස් අනන්තයි. උපදින උපදින ආත්මයේ ශරීරාංග සම්පූර්ණව අංගවිකල නොවී උපදිනව. ශරීරය වර්ණවත් වෙනව. සිනිඳු සමක් ලැබෙනවා. සමාජයේ ජනපි‍්‍රය වෙනව. දීර්ඝායුෂ ලැබෙනවා. කුෂ්ඨරෝග ඇති වන්නෙ නැහැ. පෙරකළ අකුසලකර්ම නිසා නිදන්ගතව සුව නොවන කුෂ්ඨ රෝගීන් සිටිනව. සිද්ධ ස්ථාන ඇමද පිරිසුදු කිරීමෙන්, කලක් එසේ කරන විට නොදැනුවත්වම කුෂ්ඨරෝග සුවවෙනව. බෝමලු, විහාරමලු ඇමදීම කුෂ්ඨ රෝගීන්ට යහපත් ඖෂධයක් වැනිය. චිත්ත පාරිශුද්ධිය මනුෂ්‍යයාට ඉතාම අවශ්‍යයයි. අපිරිසුදු සිතකින් කුමන කුසල් කළත් එයින් ප්‍රයෝජනයක් නැහැ. අපිරිසුදු සිතෙන් කරන කුසලය සම්පූර්ණවන්නෙ නැහැ. හිත පිරිසුදු කරගැනීමට කළහැකි අගනා පින්කම විහාරමලු ඇමදීමයි. ‘මේ මලුවේ කුණු රොඩු ඉවත්වී පිරිසුදු වන්නාක්මෙන් මගේ සිතද ලෝභ, ද්වේෂ, මෝහ, මාන, වෛර, ක්‍රෝධ ආදී කෙලෙසුන්ගෙන් වෙන්වී පිරිසුදුවේවා’ යන්න සිත තුළ රඳවාගන අමදින විට සිතතුළ නිතැනින්ම මෛත්‍රිය, කරුණාව උපදිනව.


කටකන්දරවාසී ඵුස්සදේව තෙරුන්වහන්සේ ඉතා ක්‍රමවත්ව පිරිසුදුව සෑ මලු, බෝමලු හැමද එදෙස බලා අපමණ බුද්ධාලම්භන පී‍්‍රතියක් ලබාගන්නව. උන්වහන්සේ ක්‍රමවත්ව සෑ මලුව ඇමද එයින් අසීමිත සතුටක් ලබනව. දිනක් උන්වහන්සේ සෑ මලුව ඇමද අසීමිත බුද්ධාලම්භන පී‍්‍රතිය ආශ්වාදය කරනවිට මාරයා කලු වඳුරකුගේ වෙසක්ගෙන පැමිණ මලුවේ මළපහකර අපිරිසුදු කර ගියා. තෙරුන්වහන්සේ දෙවැනි දිනයෙත් මෙසේ මලුව ඇමද එහි සතුට විඳිමින් සිටිනවිට මාරයා මහලුගොන් වෙසක් මවාගන පැමිණ මලුව අපවිත්‍ර කළා. තුන්වන දවසේද තෙරුවන්වහන්සේ මලුව ඇමද එදෙස බලාසිටිනවිට මාරයා කොරෙකුගේ වෙසක්ගෙන පැමිණ ක්‍රමවත්ව අමදින ලද මලුවේ පා අදිමින් ගොස් සෑමලුව විරූපී තත්ත්වයට පත් කළා. තෙරුන්වහන්සේ මෙවැනි කොරෙකු තම ගොදුරු ගමේ කිසිදිනක දැක නැත. එනිසා මොහු මාරයාදැයි? සැකයක් ඇතිවුනා. තෙරුන් වහන්සේ මෙම කොරාගෙන් ඇසුවා. ‘ඔබ මාරයාද? කියල. කොරා කියනව‘ ඔව්, මම මාරය තමා කියලා. ‘මාරය, ඔබ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටිනාකාලයේ ඉඳල ඉන්න කෙනෙක්. ඔබ බුදුරජාණන් වහන්සේ දැක තිබෙනවාද? කියල තෙරුන් වහන්සේ මාරයාගෙන් ඇසුව ‘ඔව්, මම බුදුන්වහන්සේ දැක තියෙනව.’ මාරය පිළිතුරු දෙනව. ‘මාරය, ඔබ මහා බලවතෙක් යැයි කියනවා. හොඳයි, ඔබට ඔපමණ බලයක් තියනවනම් මට බුදුරජාණන් වහන්සේ මවා පෙන්වන්න.” කියල 


තෙරුන්වහන්සේ මාරයාට කිව්ව. “මට බුදුරජාණන් වහන්සේ සමාන ආත්මභාවයක් නම් මවන්න බැහැ. එහෙත් තරමක සමාන ආත්මභාවයක් නම් මැවිය හැකියි.ප්‍රකාශ කළ මාරයා බුද්ධ වේශය ගෙන තෙරුන්වහන්සේ ඉදිරියේ පෙනී සිටිය. “ කෙළෙස් සහිත මාරයා බුද්ධවේශයෙන් සිටින විට මෙතරම් ශෝභන නම් නික්ලේශී බුදුරජාණන් වහන්සේ කෙතරම් ශෝභන වන්නට ඇද්දැයි” තෙරුන් වහන්සේට බුද්ධාලම්බන පී‍්‍රතිය ඇතිවුනා. විදසුන්වැඩූ තෙරුන් වහන්සේ ඒ අවස්ථාවේදීම අර්හත් ඵලයට පත්වුණා. තමන් රැවටුනබව තේරුම්ගත් මාරයා නොපෙනී පලාගියා. “පසාදික සංවත්තනිකං පුඤ්ඤං උපචිනාති” විහාරමලු බෝමලු, සෑ මලු ඇමදීමෙන් ප්‍රසාද උපදවන රූපශෝභාවක් ඇතිවෙනව. අසෝකමාලාවට රූප ශෝභාව ලැබුණේද, බෝමලු ඇමදු පින නිසා.
 
අතීතයේ අනුරාධපුරයේ විසූ අභයතෙරුන් වහන්සේට ඉතා මනහර රූප ශෝභාවක් තිබුණ. ඒ වගේම රූප ශෝභාව තියන අමාත්‍ය පුතෙකුත් එම ප්‍රදේශයේ සිටිය. “මෙම දෙදෙනා අතරින් වඩාත්ම රූප සම්පත්තිය ඇත්තේ කවරකුටදැයි දැන ගැනීමට ජනයාට අවශ්‍ය වූණා. මේ දෙදෙනාම එක්තැන දැකීමට ජනයා උපායක් යෙදුව. රුවන්මැලි චෛත්‍ය රාජයාණන් වහන්සේ වන්දනාව සඳහා අමාත්‍යපුත්‍රයා කැටුව යාමට ඔහුගේ දෙමව්පියන් පොළඹව ගත්ත. අභය තෙරුන් වහන්සේ මේ අවස්ථාවේ සෑ මලුවට පිවිසුනා. “ඔබ මහලු තෙරුන් වහන්සේද මේ ඇමදු කසල ගෙන ගොස් දමා මා සමඟ තරඟ කරන්නේදැයි අභය තෙරුන් වහන්සේ අමාත්‍ය පුත්‍රයාගෙන් ඇසුව. මෙසේ මේ දෙදෙනාටම රූප සම්පත්තිය ලැබීමට හේතුවූයේ පෙර භවයකදී අභය තෙරුන්වහන්සේ මහා තෙරනමක් වී කතරගම වෙහෙර මලුව අමදින විට මෙම අමාත්‍යපුත්‍රයා එකලද අමාත්‍ය පුත්‍රයෙක්ව සිට තෙරුන් වහන්සේ අමදින කසල මෙම පුත්‍රයා ඉවත්කර සෑ මලුව පිරිසුදු කළා. මලුව ඇමදූ තෙරුන් වහන්සේට ද කුණු කසල ඉවත්කළ පුත්‍රයාටද ඒ පිනෙන් විශේෂ රූප ශෝභාවක් ඇතිවුණා. චෛත්‍ය මලු, බෝමලු, විහාරමලු ඇමදීමෙන්, තීක්‍ෂණ නුවණක් ලැබෙනව. පාසල්දරුවන් විහාරස්ථාන ඇමදීමෙන් නිරවුල් දියුණු මනසක් ලබාගන්න පුළුවන්.

කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේ එක් ගංතෙරක විහාරයක් තිබුණා. එම විහාරයේ භික්‍ෂූන් වහන්සේ දිනපතා මලු ඇමද පිරිසුදු කරනව. දිනක් තෙරනමක් මලුව අමදින විට සමීපයෙන් යන සාමණේරනමකට ‘පොඩිනම මේ කුණු ඉවතට ගෙනගොස් දමන්න.” යයි කීවා. සාමණෙරනම නොඇසුණාමෙන් සිටිය. දෙතුන්වරක් කීවා. සාමණේරනම ඇහුන්කන් දුන්නෙ නැහැ. තෙරනම පොඩිනමට ඉදලෙන් පහරක් ගැසුවා. පොඩිනම අඬ අඬා කසලගොඩ ඉවත්කළා. පසුව සාමණේරනම පැන් පහසුව සඳහා ගඟට ගියා. ගඟේ රළපහර දැකල සාමණේරනම මෙසේ ප්‍රාර්ථනා කළා. “මා කුණු කසල ඇද දැමූ පිනෙන් මතු උපදිනා උපදිනා ආත්මයේ මේ රළපහරමෙන් තේජස ඇතිවේවා. ස්ථානෝචිත ප්‍රඥාව ඇතිවේවා. මෙලෙස සාමණේරනම ප්‍රාර්ථනය කරන විට මහතෙරනමද ගඟට ගියා. මෙය ඇසූ මහ තෙරුන් වහන්සේ ‘කසල ඇද දැමූ සාමණේරනමට එතරම් අනුසස් ලැබේනම් ශ්‍රද්ධාවෙන් මලුව ඇමදු මට කෙතරම් අනුසස් ලැබිය යුතු ද? යනුවෙන් සිතා ‘මා ශ්‍රද්ධාවෙන් මලුව ඇමදු පිනෙන් උපදිනා උපදිනා ආත්මයේ මේ රළ පහරමෙන් ක්‍ෂය නොවන නුවණ ඇතිවේවා. මොහුගේ සියලු ප්‍රශ්න විසඳීමට මට හැකියාව ලැබේවා. “යනුවෙන් ප්‍රාර්ථනය කළා. පසුකාලයේ මිලිදු රජ වූයේ එම සාමණේරනමය. නාගසේන තෙරුන් වහන්සේ වූයේ මලුව ඇමදු තෙරුන් වහන්සේය.

මෙසේ ක්‍රමවත්ව චෛත්‍ය, විහාර, බෝමලු ඇමදීමෙන් අනන්ත අප්‍රමාණ ආනිශංස ලැබෙනවා. සිත් තැවුල්, දොම්නස් ඇතිවිට මලුපෙත් ඇමදීමෙන් සිත තුළ ප්‍රබෝධය ඇතිවෙනව. සිතේ ශ්‍රද්ධාව ඇතිව විහාරමලු ඇමැද ඔබගේ මෙලොව පරලොව ජීවිතය ආලෝක කරගන්න.


ඔබ සැමට තෙරුවන් සරණයි


...Budusarana news paper....
Read more...

කොසොල් රජතුමා දුටු සිහින 16 සහ ඒහි තෙරුම්

කොසොල් රජතුමා යනු බුදුන් සමයේ රට කරවූ පාලකයෙකී. එතුමා බුදුන්ගේ ධර්මය ඇසීමට නිරන්තරයෙන් ප්‍රිය කළ තැනැත්තේකී. සැබවින්ම ඔහු හොඳ බුද්ධ ශ්‍රාවකයෙකී.
දිනක් කොසොල් රජතුමා නින්දේදී සිහින 16 ක් දක්නා ලදී. මේවා අමුතු ආකරයේ සිහින වූ නිසා මෙ පිළිබඳව තම රාජ සභාවේ සිටි පණඩිතයන් ගෙන් විමසන ලදී. නමුත් රාජ සභාවේ සිටි පණ්ඩිතයන් හට ද මෙම සිහින වල නියම තේරුම සිතා ගත නොහැකී විය. එම නිසා රජතුමා තමා හට පෙණුන සිහි
න පිලිබඳව විමසීමට බුදුරජාණන් වහන්සේ වෙත ගියේය. බුදුරජාණන් වහන්සේ මෙම් සිහින වල නියම තේරුම රජතුමාට පැහැදිලි කරන ලදී. 

ඒවා මෙසේයි, 


පළමුවන සිහිනය ;

කොසොල් රජතුමා :

" භාග්‍යවතුන් වහන්ස , මා දුටු පළමුවන සිහිනය මෙයයි .
කළු පාට ගොනුන් සතර දෙනෙකු සතර දිශාවෙන් ගොන් පොරය සඳහා දූවිලි අවුස්සාගෙන විදුලි වේගයෙන් දිව එනවා . නරඹන්නෝ ඒ දෙස මහත් වූ උද්යෝගයෙන් බලා සිටී. නමුත් පසුව පොරයට පැමිණි ගොනුන් සතර දෙනා එකවරම ආසන්නයටම පැමිණ නැවතත් ආපසු හැරී දිව ගියා. උද්යෝගයෙන් සිටි නරඹන්නන් ගොන් පොරය බලන්නට බැරි වී දුක් වුණා. මට මෙහි තෙරුම හිතා ගන්ට බෑ." 

බුදුජාණන්වහන්සේ : 

" රජතුමනී. මෙය ඔබට හෝ රටට අද හෙට සිදුවන දෙයක් නෙමේ. මෙය සිදුවන්නේ අනාගතයේ දී .අනාගතයේ දී රටේ අධාර්මික පාලකයන් නිසා රටේ දේශගුණයත් ,කාලගුණයත් සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. කලට වෙලාවට වැසි වසින්නෙ නෑ. ගොවියෝ අහස දිහා බලාගෙන ඉන්නවා වැසි බලාපොරොත්තුවෙන් .ඔන්න ඔය අතරේ ඝණ වැසි වලාකුළු ඇවිත් අහස වසා ගන්නවා. ගොවියො ගොවිතැනට සැරසෙන්න ගන්නවා .එහෙත් අර වහින්න කියල පැමිණුන වලාකුළු වෙන දිහාවකට පාවෙලා යනවා. වැස්ස බලාපොරොත්තුවෙන් සිටි ජනතාවත් ගොවියනුත් දුකට පත් වෙනවා. එක තමයි ඔය හීනෙන් අදහස් කරන්නේ ."

දෙවන සිහිනය ;
කොසොල් රජතුමා : 

" ස්වාමීනි දෙවන සිහිනය මෙහෙමයි. රජ මාලිගාවේ මිදුලේ පුංචි පුංචි පැළ වල ලොකු ලොකු ගෙඩි හටගෙන තිබුණා .මට හිතාගන්නත් බැ මේ අරුම පුදුම සංසිද්ධිය " 

බුදුරජාණන්වහන්සේ : 

" රජතුමනී අනාගතයේදී මිනිසුනේ කාමාශාව වැඩි වෙනවා. එම නිසා ඔවුන් අඩු වයසින් විවාහ වෙනව ඔවුන් ගේ ආයුෂත් අඩු වෙනවා .ඔවුන් කුඩා අවදියේම ළමයින් බිහි කරනවා. එයයි මෙම සිහිනයේ ප්‍රතිඵලය. මෙය අනාගතයේදී සිදුවන දෙයක් ."

තෙවන සිහිනය ; 

කොසොල් රජතුමා :

" ස්වාමිනී මාගේ තෙවන සිහිනය විදියට මා දුටුවේ තමන් ගෙන්ම ඉපදුන වහු පැටියගෙන් එළදෙන කිරි බොනවා මෙය වෙන්න පුළුවන්ද ස්වාමිනී "


බුදුරජාණන්වහන්සේ : 

" රජතුමනී මෙම සිහිනයෙන් කියැවෙන්නේ දරුවන් තම දෙමාපියන් නොසලකා හරින බවයි. ඔවුන් වැඩිහිටියන් හට ගරු කරන්නෙ නෑ .වැඩිහිටියන් හට සිදු වෙනවා ඔවුන්ගේ දරුවන් ලඟ දාසයන් සේ ක්‍රියාකරන්න හා යැපෙන්නට .ඔවුන්ට සළකන්නේ නැත්තම් ඔවුන් වැඩිහිටියන් ට සළකන්නේත් නැහැ. මෙය අනාගතයේදි සිදුවන දෙයක්. " 

සතරවන සිහිනය ;

කොසොල් රජතුමා :

" භාග්‍යවතුන් වහන්ස මා දුටුවා ගැල් පේළියක ඉදිරිපස ගැල් වල ළපටි ගොනුන් බැඳ පසුපස ගැල් වල ජවසම්පන්න ගොනුන් බැඳ තිබුනා. ඉතින් ඉදිරිපස ගැල් වල බැඳ සිටියේ ළපටි ගොනූන් නිසා එම ගැල් පේළිය ඇදගන්න බැරිව නතර වෙලා තිබුනා. මෙහි තෙරුම කුමක්ද ස්වමීනී? "

බුදුරජාණන්වහන්සේ :

රජතුමනී මෙම සිහින්නයෙන් කියැවෙන්නේ අනාගත පාලකයන් බුද්ධිමත් අත්දැකීම් බහුල ඇමති වරුන් හට බල තල නොදී ඔවුන්ට විරුද්ධව බාල අත්දැකීම අඩු පුද්ගලයන් හට බල තල ලබා දී පාලනය අවුල් කර ගන්නවා. මෙයින් ඔබට හානියක් වෙන්නේ නෑ මෙය අනාගතයේ දී සිදුවන්නක් ."


පස්වන සිහිනය ; 

කොසොල් රජතුමා : 

භාග්‍යවතුන් වහන්ස මගේ පස්වන සිහිනය නම් මන් දැක්කා හිස් දෙකක් තිබෙන අශ්වයෙක් ඉදිරිපස හිසෙනුත් පසුපස හිසෙනුත් තණකොල කනවා .ස්වාමිනී මෙය වෙන්න පුළුවන්ද ? 

බුදුරජාණන්වහන්සේ : 

" රජතුමනී අන්නගතයේදී රටේ අධාර්මික පාලකයන් නිසා නීතිය අවනිතිය වෙනවා ,යුක්තිය අයුක්තිය වෙනවා, නිතීඥයොත් ,විනිශ්චයකාරයොත් දෙපැත්තෙන්ම ( විත්තිය හා පැමිණිල්ල ) අල්ලස් ගනිමින් කටයුතු කරනවා.මෙම දෙපැත්තෙන්ම තණකොල උලා කන අශ්වයාගෙන් පෙන්නුම් කරන්නේ එයයි. මෙයින් ඔබට හානියක් නැහැ. මෙය අනාගතයේදී සිදුවන්නක් ."


සයවන සිහිනය ; 

කොසොල් රජතුමා : 

" ස්වාමිනී මගේ සයවන සිහිනයෙන් මා දුටුවේ ජරාපත් හිවලකුට රන්තලියක මුත්‍රා කිරිමට සලස්වා ජනතාව ඒ දෙස බලා සිටින අයුරුයි. ස්වාමිනී මෙහි තේරුම කුමක් ද ? "

බුදුරජාණන්වහන්සේ : 

" රජතුමනී මෙයින් කියැවෙන්නේ අනාගතයේදී සම්භාවනීය යැයි ලෙස සැලකෙන පුද්ගලයින් තමන් ගේ නොමනා ක්‍රියාකර කම් නිසා සම්පත්වලින් පිරිහෙනවා තමන්ගේ පරම්පරා වලින් උරුම වූ සම්පත් පිරිහීම නිසා මොවුහූ තමන්ගේ දූ දරුවන් අයථා ක්‍රම වලින් ධනවතුන් හට සරණපාවා දෙනවා. මෙයයි ඔබේ සිහිනයේ අර්ථදැක්වීම ."


හත්වන සිහිනය ; 
කොසොල් රජතුමා :

" භාග්‍යවතුන් වහන්ස ම දුටුවා මිනිසෙකු අසුනකට වී සම් පටකින් ලණුවක් අඹරද්දී එම අඹරන ලණුව අසුන යට සිටින හිවල් ධේනුවක් විසින් කා දමන ආකාරය . මෙහි තෙරුම කුමක් ද ස්වාමීනී? 


බුදුරජාණන්වහන්සේ : 

" රජතුමනී මෙයින් කියවෙන්නේ අනාගතයේදී මිනිසුන් අතර කාම මිත්‍යාචාරය බහුල වීම නිසා ස්වාමි පුරුෂයන් විසින් උපයන ධනය ස්ත්‍රීන් විසින් අනාචාරයේ හැසිරීමට වැය කිරීම නිසා ඇතිවන පිරිහීමේ ස්වභාවයයි. මෙයින් ඔබට කිසිදු හානියක් සිදුවන්නේ නැහැ. මෙය අනාගතයේදී සිදුවන්නක්. " 


අටවන සිහිනය ; 
කොසොල් රජතුමා : 

" ස්වාමිනී දුටුවා සතර දිගින් පැමිණෙන ස්ත්‍රීන් හා පුරුෂයන් විසින් පිරී ඉතිරෙමින් පිටාර ගලන කළයකට පමණක් ජලය ගෙනැවිත් එය පිරවීමට උත්සාහ ගන්නවා .හිස් කළ ගෙඩි ගැන කවුරුත් බලන්නේ නැහැ.ඒවා එහෙම්මම තිබෙන්නට හරිනවා. මෙම සිහිනයේ තේරුම කුමක්ද ස්වමීනී " 

බුදුරජාණ්න්වහන්සේ : 

" රජතුමනී මෙයින් කියැවෙන්නේ අනාගතයේ දී පාලකයන් රට සමෘද්ධිමත් නොකිරීම නිසා රටේ ජනතාව අතිශ්‍ය දිළින්දන් බවට පත් වෙනවා. රටේ ආර්ථිකය පිරිහෙනවා. එවිට රජය ජනතාව අතර බදු බර තව තවත් පටවනවා. රටේ ධනවතුන් තව තවත් තර වෙනවා . ඇත්තෝම තවත් තර වෙනවා. නැත්තෝ නැත්තටම නැති වෙනවා. මෙය අනාගතයේදී සිදුවන්නක් නිසා ඔබ තුමාට කිසිදු හානියක් නැහැ " .


නව වන සිහිනය ; 

කොසොල් රජතුමා : 

" ස්වාමීනී මා දිය පිරුණු පොකුණක් දුටිමි .මෙ පොකුණේ මැද බොර වී තිබුණා .සතුන් සීපාවුන් ඇවිත් පොකුණ වටේ වතුර බොනවා .නමුත් ම්ම පොකුණ වටේ නම් වතුර හොඳටම පැහැදිලී. පොකුණ මැද්දෙ විතරක් බොර වෙලා වටේ විතරක් වතුර තිබෙන්න විදියක් නැහැනෙ ස්වමිනී. එකයි මට මෙහි ඇති පුදුමය .මෙහි තේරුම කුමක්ද ස්වමිනී ?"

බුදුර්ජාණන්වහන්සේ : 

" රජතුමනී රටේ පාලකයො අධාර්මික වීම නිසා රට හැම අතින්ම දූෂනය වෙනවා .රටේ සිටින උගතුන් බුද්ධිමතුන් රට ගැන කළකිරෙනවා.තමන්ගේ උගත්කමට සරිලන ස්ථානය නොලැබීම නිසාත් ,රටේ යහපත් ජීවිතයක් ගත කිරීමට නොහැකි නිසාත් ඔවුන් ඒවා සොයා වෙනත් දේශයන් කරා පියමන් කරනවා. එවිට ඔවුන්ගේ සේවය රටට ලැබෙන්නේ නැහැ. එම නිසා රට තව තවත් පිරිහෙනවා.මෙයින් ඔබතුමාට හානියක් නැහැ.මෙය සිදුවන්නේ අනාගතයේ ." 


දසවන සිහිනය ;

කොසොල් රජතුමා : 

" ස්වාමින් වහන්ස මා දුටුවා ලිපෙහි ඇති බත් හැලියක් .නමුත් මෙම හැලියේ එක් පැත්තක නොපිසුණු සහල් ද තවත් පැත්තක බාගෙට පිසුණ සහල් ද ,තවත් පසෙක ඇට්ටිකුණා සහල් ද තිබෙන අයූරු මා දුටුවා. ස්වමීනී එකම බත් හැලියේ විවිධ වූ ආකාරයේ සහල් වර්ග ත්බෙන්නේ කොහොමද? මේක මට පුදුමයක් .මෙහි තේරුම කුමක් ද? " 

බුදුරජාණන්වහන්සේ : 

" රජතුමනී පුදුම වෙන්න දෙයක් නැහැ .මෙයත් අනාගතයේ පාලකයින්ගේ අත්වැරැද්දෙන් සිදුවන්නක්. මා දේශනා කර තිබෙනවා රටේ පාලකයා අධාර්මික වෙන කොට රටට නිසි කලට නිසි ලෙස වැසි වසින්නේ නැහැයි කියා .එම නිසා ඉහත සිහිනයෙන් කිය වෙන්නෙත් අන්න එවැනි දෙයක්. රටේ පාලකයින් ගේ නොමනා ක්‍රියාකලාපය නිසා නිසි ලෙස වැසි වසින්නේ නැහැ.වැස්සත් වසින්නේ කඩින් කඩ. තව තැනකට හොඳට පායනවා. මෙහෙම වුනාහාම එක තැනක ඇති වී බොල් වෙනවා. සමහර තැන් නියඟයට අහු වෙනවා.මෙන්න මෙකයි අනාගතයේ සිදුවන දෙය .මෙයින් ඔබට හානියක් නැහැ. "


එකොළොස්වන සිහිනය ;

කොසොල් රජතුමා : 

" ස්වාමීනී මගේ මේ හීනය අමුතුම ආකාරයේ එකක් .මන් දැක්කා සුවඳ හමන සඳුන් කොටයක් කුණු ගඳ ගහන මොරු කළයකට හුවමාරු කරනවා .ස්වමීනී ඇයි මේ වගේ හීනයක් පෙනුනේ මට ". 

බුදුරජාණන්වහන්සේ : 

" රජතුමනී අනාගතයේදී මගේ සාශනයේ බොහෝ භික්ෂූන් ලාභසත්කාර බලාපොරොත්තුවෙන් සිවුරු දරනවා.පස්කම් සැපය උදෙසා සිවුරු දරනවා. මෙසේ ශාස්තෲන්වහන්සේලාගේ ධර්මය මුදලට හා අනෙකුත් දේවල් වලට පාව දීම තමයි මෙම හීනයේ තේරුම . " 


දොළොස්වන සිහිනය ; 

කොසොල් රජතුමා : 

"ස්වාමීනී මා දුටුවා සැහැල්ලු ලබු කබල් වගයක් දියේ හි පාවෙන්නේ නැතිව බර වස්තූන් මෙන් දියේහි ගිලෙනවා .මන් ඒ දුටු දේ අරුත කුමක්ද ස්වමිනී ? "

බුදුරජාණන්වහන්සේ :

" රජතුමනී අනාගතයේදී රාජසභාවේ ( අද වගේ නම් පාර්ලිමේන්තුවේ ) සුදුස්සන්ට ඇමතිකම් නොදී නුසුදුසු පහත් අය ඇමතිකම් හා නිල තල ලබා දීම නිසා රාජසභාව හිස් කතා වලින් පිරෙනවා .පන්සල් හා අනෙකුත් ආගමික ස්ථන වල හිස් කථා පැතිර යනවා. රටේ ජනතාව හිස් කතා වලට ප්‍රිය කරන තත්වයට පත් වෙනවා .හිස් ලබු කබල් දියෙහි කිඳා බැසීමෙන් අර්ථ දැක්වෙන්නේ මෙයයි. මෙයින් ඔබට හානියක් නැහැ." 



දහතුන්වන සිහිනය ;

කොසොල් රජතුමා : 

" ස්වාමින් වහන්ස මා දුටුවා විශාල ගල් ජලයෙහි පා වෙනවා. මෙය විය හැකි දෙයක් නම් නෙමේ නේ .මෙහි තෙරුම කුමක්ද ස්වාමිනී "

බුදුරජාණන්වහන්සේ :

" මහරජතුමනී මෙයින් ඔබ බිය විය යුතු නැහැ .මෙයින් කි‍යවෙන්නේ අනාගතයේ පාලකයොත් මහජන ප්‍රජාවත් රටේ ඉන්න උගතුන්ගේ ,වියතුන්ගේ ,බුද්ධිමතුන්ගේ අදහස් හා අනුසාශනා අහන්නේ නැහැ. රාජසභාවේත් .ප්‍රජාවත් අතර ඉහත වටිනා අදහස් කිඳා නොබැස ඔහේ පා වෙලා යනවා. "
දාහතරවන සිහිනය ; 

කොසොල් රජතුමා : 


" ස්වාමින් වහන්ස මා දුටුවා පුංචි මැඩියන් සර්පයින්ව අනුභව කිරීමට පස්සේන් පන්නනවා .මෙය විය හැකිද? මෙහි තේරුම කුමක් ද ස්වාමිනී ? "


බුදුරජාණන්වහන්සේ : 

" අනාගතයේ දී මිනිසුන් මීටත් වඩා රාගාධික වෙනව. එවිට වයසක පුරුෂයින් වයසින් අඩු ස්ත්‍රීන් සමඟ සේවනය සඳහා පෙලඹෙනවා .ඒ සඳහා ඔවුහූ තමන්ගේ ධනය වැය කරනවා. ධනයට ආසාවෙන් සිටින පෙර කී ස්ත්‍රීනුත් ඒ සඳහා යොමුවී වයසක ධනවත් පුරුෂයින්ව වසඟයට ගෙන පසුව දේපළ තමන් සතු කර ගෙන අර වයසක පිරිමින් හට නිග්‍රහ කරනවා. මෙම සිහිනයෙන් කියැවෙන්නෙ මෙයයි. " 


පහළොස්වන සිහිනය ;


කොසොල් රජතුමා : 


" ස්වාමීනී මගේ පහළොස්වන සිහිනයෙන් මා දුට දේ නම් 
නිතරම යමක් ඩැහැගැනීමට සැරසී සිටින කපුටකු හංසයන් පිරිවරාගෙන සිටිනා ආකාරයි . " 

බුදුරජාණන්වහන්සේ :
" රජතුමනී මෙයින් කියවෙන්නේ අනාගතයේදී පාලකයන් විසින් දාමරීකයින් හට,මිනිමරුවන් හට, හීන ජාත ඇති අයට ,ඉතා ඉහල සම්භාව්‍යනීයත්වයක් ලබා දෙනවා . එම නිසා ඔවුන් සමාජයේ ඉහළින් වැජ්ඹෙනවා.එම නිසා බුද්ධිමතුන් හට සිදුවනවා මොවුන්ට යටත් වීමටත් ,ඔවුන්ට ආරක්ෂාව සැපයීමටත් ."මෙයින් ඔබට කිසිදු හානියක් නැහැ මෙය සිදුවන්නේ අනාගතයේ . " .


දහසයවන සිහිනය ;

කොසොල් රජතුමා : 

භග්‍යවතුන් වහන්ස මේතරම් කලක් අප දුටුවේ කොටියන් විසින් එළුවන් කන ආකාරයයි. නමුත් මගේ මෙම සිහිනයෙන් මා දුටුවේ එළුවන් විසින් කොටියන් අල්ලාගෙන කන ආකාරයයි. මෙහි තේරුම කුමක්ද ස්වාමිනී ?" 

බුදුරජාණන්වහන්න්සේ : 


" රජතුමනි දාමරීකයන් හට මිනිමරුවන් හට රජයෙන් වරප්‍රසාද ලැබෙන නිසා පාරම්පරික අයිති ඉඩම් ඔවුන් විසින් කොල්ල කනවා .ඒ සඳහා අධිකරණ පිහිට පැතීමට ගිය කල්හී ඔවුන් හට තාඩන පීඩන විඳීමට සිදුවෙනවා .ජීවිත අන්තරාය නිසා ඔවුන් අර මැරයින් හට ඉඩකඩ්ම් පවරා දී පැත්තකට වෙලා බලා සිටිනවා .රටේ පුජ්‍ය පක්ෂය ඉහත කී සිදුවීම් දෙස නිහඬව බලා සිටිනවා. එයයි මෙම සිහින යේ තෙරුම. මෙයින් ඔබ බිය වියයුතු නෑ මෙය සිදුවන්නේ අනාගතයේ ". 



එදා කොසොල් රජතුමා දුටු සිහින අද සැබැවක් වී ඇත්ද ? නැද්ද? යන එක තීරණය කිරීම ඔබ සතුය. නමුත් මා හට පෞද්ගලිකව මෙහි කීඅයුතු යම් දෙයක් ඇත .එනම් , 
ඉහත සිහින 16 පිලිබඳව බුදුරජාණන්වහන්සේ 
ලබාදුන් පැහැදිලි කිරීම් ගත්කල පෙනී යන කරුණක් වන්නේ උන් වහන්සේ විසින් එම සිහින 16 ට අදාල ව දේශනා කළ අනාගතය අද උදා වෙමින් පවතින බවයි. 
එම නිසා අප කළයුතේ එවැනි පිරිහීමකට රටත් සමාජයත් පත්වීමට ඉඩ නොදී යහපත්ව පවත්වාගෙන යාමට කටයුතු කිරීමයි.. ඒ සඳහා අවශ්‍ය වන හොඳම ප්‍රතිකාරකය වන්නේ බුදුරජාණන්වහන්සේගේ ශ්‍රී සද්ධර්මයයි .
Read more...

fb comments

Comment with Facebook